පොලිස් නිලධාරිනියකට පාට් දැමු කාන්තාවක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදී පොලිස් නිලධාරිනියකට පහරදීමේ චෝදනාව යටතේ කාන්තාවක් ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් බවයි.
පොලිසිය සඳහන් කළ පරිදි මාතර, දෙවිනුවර ඔරලෝසු කනුව ආසන්නයේදී ත්‍රිරෝද රථයක ගමන්කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිය රථයේ ගමන්මගට බාධා කළ බව පවසමින් එම කාන්තාව ඇය ගමන්ගත් වාහනය නවතා පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදී තිබෙනවා.
එහිදී අදාල නිලධාරියා විසින් කළ දැනුම්දීමකට අනුව ගන්දර පොලිස් ස්ථානය ආසන්නයේදී අදාළ කාන්තාව ගමන්කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය පොලිස් නිලධාරීන් විසින් නවත්වාගෙන තිබෙනවා.
එහිදී ඇතිවූ බහින්බස් වීමක් අතරතුරදී අදාළ සැකකාර කාන්තාව විසින් පොලිස් නිලධාරිනියකගේ පපු ප්‍රදේශයට සිය වැළමිටෙන් සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ නිලධාරිනිය රෝහල්ගතකර තිබෙනවා.
ඉන් අනතුරුව ගන්දර පොලිසිය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අදාළ ජීප් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ගන්දර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

