ගුරු සංගම්වලින් අනතුරු ඇඟවීමක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව ඉතිරි තුනෙන් දෙකක වැටුප් සංශෝධන ලබා ගැනීම සඳහා එළැඹෙන 05 වැනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසුව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් පැවසුවේ, උසස් පෙළ විභාගයේ පිට වූ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම ද ගැටලු සහගත බවයි.
2023 වසරට අදාළ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස පසුගිය 12 වැනිදා අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ, එම ප්‍රශ්න පත්‍රය විභාගයට ප්‍රථමයෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තහවුරු වීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වාගෙන යන, අම්පාර ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගුරුවරයෙකු මෙන්ම මොරටුව මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහායකයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වුණා.
කෘෂි විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ බහුවරණ ප්‍රශ්න සහිත ඡායාරූපයක් ද අම්පාරේදී අත්අඩංගුවට ගැනුණු ගුරුවරයාගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගැනීමත් සමග බහුවරණ ප්‍රශ්න පත්‍රය ද අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය 16 වැනිදා පියවර ගත්තා.
ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ, අවලංගු කෙරුණු කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවැනි කොටස්වලට අදාළ විභාග හෙට දිනයේ පැවැත්වීමටයි.
කෙසේවෙතත්, මෙලෙස කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම ගැටලුසහගත බව ලංකා ගුරු සංගමය පවසනවා.

