ජපන් සිහින දකින අයට සුබ පණිවුඩයක්

ජපන් සිහින දකින අයට සුබ පණිවුඩයක්

අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ප්‍රතිලාභීන් පිරිසකට ජපන් භාෂා ප්‍රවීණත්වය ලබාදී විදෙස් රැකියා සඳහා පිටත් කරවීමට ද සූදානමින් සිටින බවය.

ඔහු ඒ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ අතර අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති මෙතෙක් ප්‍රතිලාභ නොලැබුණු පවුල් දස ලක්ෂයකට ලබන ජූලි මාසයේ සිට ගෙවීම් කටයුතු සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඊයේ (30) ප්‍රකාශ කළේය. අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දෙවැනි වටය සඳහා අයදුම්පත් කැඳවීම මේ වසරේ මුල් කාර්තුවේ සිදු කර ජුනි මාසයේදී සියලු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ජූලි සිටම ගෙවීම් සිදු කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.

දැනට අස්වැසුම හිමිකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව උපරිමය පවුල් මිලියන 2.4ක් දක්වා ඉහළ යන අතර මෙම යෝජනා ක්‍රමය සංශෝධන ඇතුළත් කරමින් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමි වූ බව ද හෙතෙම කීවේය.

ඒ අනුව අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතුරින් අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය අප්‍රේල් මස 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනි දින දක්වාත් සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වාත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය හා සංක්‍රාන්තික සමාජ කාණ්ඩය (ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආදායම පහළ වැටී ඇති) යන කාණ්ඩ දෙක ඒකාබද්ධ කර පවුල් ලක්ෂ අටක් සඳහා අවදානමට ලක් වූ කාණ්ඩය ලෙස ජනවාරි 01 වැනිදා සිට සැලකීම සහ එම පවුල් සඳහා රුපියල් 5,000ක දීමනාවක් එදින සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ගෙවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ. තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලියකින් පසුව අස්වැසුම පවුල් ලැයිස්තුවට අයත් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගී පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක්, ආබාධිත පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක් හා වැඩිහිටි පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක් වශයෙන් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික දීමනාවක් ගෙවීමටත් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. දැනට දීමනා ලබන සහ පොරොත්තු ලේඛනවල ලියාපදිංචිව සිටින හේතුව හඳුනා‌ නොගත් වකුගඩු රෝගී පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක්, ආබාධිත පුද්ගලයන් සඳහා රුපියල් 7,500ක් හා වැඩිහිටි පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක් වශයෙන් ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර මෙම ගෙවීම් අස්වැසුම වැඩසටහනට බාහිර වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්/ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සිදු කිරීමටත් නියමිතය.