76 වන ජාතික නිදහස් දිනය අදයි

76 වන ජාතික නිදහස් දිනය අදයි

මෙවර 76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” තේමා පාඨය යටතේ අභිමානවත්ව ගාලුමුවදොර පිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි අද (04) පැවැත්වීමට මේ වන විට කටයුතු සියල්ල සූදානම් කර තිබේ.

ජාතික නිදහස් උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශේතා තාවිසින් (Srettha Thavisin) මහතා මෙවර එක් වීමට නියමිතය. ජාතික නිදහස් දින සම්භාවනීය ආරාධිතයාගේ සම්ප්‍රාප්තියත් සමඟ අභිමානවත් ජාතික නිදහස් උලෙළ ආරම්භ වේ.

ජාතික නිදහස් දින උලෙළේ මඟුල් බෙර වාදනය හා සක් පිඹීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීන් විසින් සිදු කරනු ලබයි.

ජාතික ගීය ගායනා කිරීම කොළඹ ආරක්ෂක සේවා විදුහල, තර්ස්ටන් විදුහල සහ මහානාම විදුහල, මුස්ලිම් කාන්තා විදුහල, රාජකීය විදුහල, රාමනාදන් හින්දු විදුහල, සහිරා විදුහල, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහා විදුහල, සාන්ත අන්තෝනි බාලිකා විදුහල, සාන්ත පීතර විදුහල, හින්දු විදුහල යන විදුහල්වල සිසු සිසුවියෝ 100 දෙනකු විසින් සිදු කරනු ලබති. එහි සංගීතය මෙහෙයවීම සිදු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය විසිනි.

ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කිරීම සිදු කරන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලය, විශාකා විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල යන විදුහල්වල සිසුවියන් 25 දෙනකු විසින් වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය ඊට සංගීතය මෙහෙයවයි.

මෙවර ආචාර පෙළපාළිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 3042ක්, සන්නද්ධ රථ 77ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් 917ක්, සන්නද්ධ රථ 7ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් 605ක් සන්නද්ධ රථ 27ක්, ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් 299ක්, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 209ක්, සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් 379ක්, ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයන් 500ක්, විශ්‍රාමික නිලධාරින් 22ක්, ආබාධිත නිලධාරීන් 29කින් සමන්විත වේ.