කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනයේ තොරතුරු රැසක් එළියට

කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනයේ තොරතුරු රැසක් එළියට

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි බාර්හෙවන් ප්‍රදේශයේ හයදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් ආරක්ෂක අංශ මගින් අනාවරණ කරගනිමින් සිටින බව එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කළා.

19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් මෙලෙස ඝාතනය කර තිබුණේ 35 හැවිරිදි මවක වන දර්ශනී ඒකනායක, වයස අවුරුදු හත, හතර, දෙක සහ මාස දෙකක් වයසැති ඇගේ දරුවන් හතරදෙනායි.

සිද්ධියෙන් පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් සමග අදාළ නිවසේ වාසය කළ 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නැමැත්තෙකුද මෙහිදී ඝාතනයට ලක්ව තිබුණා.

මියගිය කාන්තාව පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතන සිදුකර තිබූ අතර, අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරු ෆෙබි්‍රයෝ ද සොයිසා ලෙස හඳුනාගෙන තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉතා අඩුවෙන් කථාකර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම ඔහුගේ නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කළ බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය වූ නිවසේ සිට කිලෝමීටර 15 ක දුරකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු මියගිය පවුලේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, ඊට අදාළ නඩුව ලබන 14 වනදා යළි කැඳවීමට නියමිතයි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිත ලෙස හඳුනාගෙන නොමැති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ඔටාවා පොලිසිය පවසන්නේ.

මියගිය පිරිස් මෑතකදී කැනඩාවට පැමිණි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ඔටාවා නගර ඉතිහාසයේ සිදුවූ දරුණුතම සමූල ඝාතනය ලෙස විදෙස් මාධ්‍ය හඳුන්වාදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සිය කණස්සල්ලද පළ කර තිබෙනවා.

https://shorturl.at/bpqux