දේශපාලන පරිවර්තන කඩඉමකට පැමිණ ඇති බව අනුර කියයි

දේශපාලන පරිවර්තන කඩඉමකට පැමිණ ඇති බව අනුර කියයි

මේ රට මෑත ඉතිහාසයේ දේශපාලන පරිවර්තනීය කඩඉමකට පැමිණ තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (10) හෝමාගම පැවති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.එහිදී වැඩිදුරටත් අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

සමඟි ජන බලවේගය වැනි පක්ෂ ගම්වල ඉතිරිවෙලා තිබෙන ඡන්ද ටික රැක ගන්න කල්පනා කරනවා. අපි ලංකා ඉතිහාසයේ ප්‍රබලතම දේශපාලන, ආර්ථික, සමාජ පරිවර්තනයක් සිදු කරන්න සූදානම් වෙනවා. දේශපාලනයට පිවිසෙන්න අපේක්ෂා කරන තරුණ තරුණියන් වෙනුවෙන් නව දොරටු අපේ පාලනයක් යටතේ විවෘත කරනවා. අපට තිබෙන්නේ මේ රටටත් ජනතාවටත් මෙයට වඩා යහපත් ජීවිතයක් ගොඩනැඟීම පිළිබඳ පොදු අරමුණ පමණයි.

මැතිවරණ ජයග්‍රහණය කියන්නේ අවසානය නොවෙයි. රට ගොඩනැඟීමේ ආරම්භයයි. එහි පළමු කාර්ය ජනතාවගේ ආහාර වේල ලබා දීම සහතික කිරීමයි. අපේ රටේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් කීප දෙනකුගේ ඒකාධිකාරී වෙළෙඳපොළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බිඳ දමා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සහල් ලබා දීමටත්, ගොවියාට සාධාරණ මිලක් ලබා දීමටත් යන්ත්‍රණයක් සකසනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පළමුවෙන්ම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කරනවා. වස-විෂ නැති ආහාර වේලක් ලබා දීමත් සහතික කරනවා.

දෙවනුව පුරවැසියන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ කෙටිකාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. පරීක්ෂණ පහසුකම්, ඖෂධ ප්‍රමාණවත්ව ලබා දීම මාස 2 – 3ක් තුළ තහවුරු කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය තුන්වැනි හදිසි අවශ්‍යතාව ලෙස ප්‍රමුඛත්වය දෙනවා. තමන් විඳින දුක තමන්ගේ දරුවාට නොදීමේ චේතනාවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැප කිරීමක් මවුපියන් ඉටු කරනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරමින් සියලුම වෘත්තීන්වලට ගැළපෙන අධ්‍යාපනයක් ලබා දීමේ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් වූ සමාජ ආකල්ප පරිවර්තනයකුත් අපි ඇති කරනවා. ගෙදරට බරක් වී තිබෙන දරුවාගේ අධ්‍යාපනය එයින් මුදාගෙන රජයේ වගකීමක් බවට පත්කර ගන්නවා. සමාජ විනයක් සහිත දරුවන් බිහි කරන අධ්‍යාපනයක් නිර්මාණය කරන බවද මෙහිදී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

COMMENTS