කැනඩා ඝාතන සිද්ධියේදී ඔටාවා පොලීසියට වැරදීමක් වෙලා

කැනඩාවේ ඔටාවාහි මවක්, දරුවන් සිව්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි සැකකරුගේ නම ඔටාවා පොලිසිය මගින් වැරදි ලෙස මාධ්‍ය වෙත නිකුත් කර ඇතැයි කැනඩා මාධ්‍ය අද වාර්තා කර තිබුණා.
ඒ, ඝාතනයට පසුදින පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔටාවා පොලිසියේ ප්‍රධානියා සැකකරුගේ නම ෆ්රෑන්ක් ද සොයිසා ලෙස මාධ්‍යයට නිකුත් කිරීම හේතුවෙන්.
කෙසේවෙතත් ඔහුගේ නම ෆෙබ්‍රියෝ ද සොයිසා ලෙස පසුව නිවැරදි කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔටාවා පොලිසියේ ප්‍රධානියා පවසා ඇත්තේ ඝාතනයට ලක්වූ පවුලේ තොරතුරු සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් පැවැති බැවින් නිවැරදි තොරතුරු ලබාගැනීමේ අපහසුතාවයක් පැවැති බවයි.
බ්‍රැන්ඩන් සරසවියේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටෝපර් ස්නයිඩර් උපුටා දක්වන CBC පුවත් පෙන්වා දෙන්නේ, වැරදි සහගත සන්නිවේදනය තුළින් පොලිසියේ නොහැකියාව පිළිබඳ මහජන මතයක් ගොඩනැංවෙන බවය.
එය පොලීසිය පිළිබඳ විශ්වාසය පළුදුවීමට හේතුවිය හැකි බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
සංක්‍රමණික, සරණාගත සහ සුළු ජනකොටස් හා සම්බන්ධ සිද්ධීන්වලදී පොලීසියේ මෙම සන්නිවේදන දුර්වලතාව විශේෂයෙන් දක්නට ලැබෙන බව ද ඔහුගේ අදහසය.
මේ අතර ශ්‍රී ලාංකික පවුලේ සමුහ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී ඔටාවා පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ දඩයම් පිහියකට සමාන පිහියක් බවය.
එක් පිහියක් ද නැතිනම් පිහි කිහිපයක් සමූහ ඝාතනය සඳහා යොදාගත්තේ ද යන්න මේ වන විට විමර්ශන සිදුකෙරෙයි.
සමූහ ඝාතනයේ සැකකරු වන 19 හැවිරිදි ශ්‍රී ලාංකික ෆෙබ්‍රියෝ ද සොයිසා ලබන බ්‍රහස්පතින්දා ඔටාවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

