ජලාශවල ජල මට්ටම 70%ක් දක්වා අඩුවෙයි

ජලාශවල ජල මට්ටම 70%ක් දක්වා අඩුවෙයි

මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම 70%ක පමණ ප්‍රමාණයකට පහත බැස ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

කෙසේ නමුත් දැනට පවතින තත්ත්වය හමුවේ විදුලිය පැය 24 පුරාම ලබා දීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හමුවේ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

ඊයේ (14) උදෑසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 25 කින් පහළ බැස ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 23 කින් පහළ බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මෙම ජලාශ දෙකේම ජල මට්ටම පහළ බැස තිබුණද දෛනික ජල විදුලි උත්පාදනයට දැනට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.