ගෝඨාභයට රටින් පිටවෙන්න ඉඩ හැදූ හැටි ඕමල්පේ හිමියෝ කියයි

ගෝඨාභයට රටින් පිටවෙන්න ඉඩ හැදූ හැටි ඕමල්පේ හිමියෝ කියයි

අරගලය පැවති අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පිටවීමට අවශ්‍ය පහසුකම් තමන් සැලැස්වූයේ රාජ්‍යතන්ත්‍රය නිවැරැදි කර ගැනීමටත්, මහජන සාමය පවත්වා ගැනීමටත් අදාළ පසුබිම සෑදීමට බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත නාහිමියෝ,

“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුමන්ත්‍රණය කියන පොතේ 98 වෙනි පිටුවේ සඳහන් වෙනවා. අපේ ක්‍රියාකාරකම් ගැනත් සාමාන්‍ය පාඨකයාට හිතෙනවා මා ඇතුළු භික්ෂූන් වහන්සේලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව ඒ මහතා බලයෙන් පහකරන්න ත්‍රස්තවාදී වැඩපිළිවෙළක යෙදුණා, එහෙම නැත්නම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක යෙදුණා කියනවා වගේ අදහසක්. අප ඇතුළු භික්ෂූන් වහන්සේලාටත් ඒ චෝදනාව එනවා.

ඇත්ත සිද්ධිය කියන්නයි මට ඕනකම තිබුණේ. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව පෞද්ගලිකව ප්‍රශ්නයක් අපට තිබුණේ නෑ. ඒ මහතාට හෝ ඒ මහතාගේ ඥාතී සහෝදර දේශපාලනඥයන් සම්බන්ධයෙන් කිසිදු පෞද්ගලික විරෝධතාවක් නෙමෙයි තිබුණේ.

පෙනුණු සිද්ධි මුල්කරගෙනයි මිනිස්සු පාරට බැස්සේ. ඇත්ත වශයෙන්ම තිබුණු දුෂ්කරතාව විඳ දරා ගන්න බැරිව ඒ වෙලාවේ මිනිස්සු පාරට බැස්සා. ඒ පාරට බැහැලා නඟන හඬ සම්බන්ධයෙන් අපි කවුරුත් සංවේදී වුණා. එලෙස සංවේදී වෙලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු බලධාරීන්ට අපි අපේ උපදෙස් දුන්නා. අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේලාත් මේ විරෝධතාකරුවන්ගේ හඬට සවන් දුන්නා. අවසානයේ ගෝඨාභය මහත්තයා තීරණය කළා රටෙන් බැහැර වෙන්න.

රටෙන් බැහැර වෙන්න තීරණය කළ වෙලාවේ ඒ මහතාට මරණ භයක් ඇති වුණු ස්වභාවයක් අපට දැනුම් දුන්නා. ඒ මහතාගේ ආසන්නම නිලධාරීන් එක්ක අපි නිතර සාකච්ඡා කළා. ඇත්තෙන්ම ඒ වෙලාවේ විරෝධතාවක් වෛරයක් තිබුණා නම් අපි එහෙම කතා කරන්නේ නෑ.

ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සාමකාමීව රටින් බැහැරවීමට යම් විරෝධතාවක් ඉදිරිපත් වෙයි, කරදරයක් වෙයි, එයාර්පෝට් එකේදී ප්‍රශ්නයක් වෙයි, ජීවිත හානියක් වෙයි කියන සැකයක් ඇති වුණා. එතැනදී අපි සාකච්ඡා කළා.

එතැනදී ඇත්ත වශයෙන්ම මගෙන් උදව් ඉල්ලුවා, ඒ මහතාට සාමකාමීව නිරුපද්‍රිතව රටින් බැහැර වෙන්න. ඒ වෙලාවේ එයාර්පෝට් එකේ වර්ජන ක්‍රියාත්මක වුණා. එයාර්පෝට් එකේ වී.අයි.පී. කොටසේ වර්ජන ක්‍රියාත්මක වුණා. අනිත් තැන්වලත් වර්ජන ක්‍රියාත්මක වුණා.

එහෙම එයාර් පෝට් එකේ ප්‍රශ්නයක් වුණා නම්, ඒ කියන්නේ ඒ මහතාට යන්න නොදී රඳවා ගන්න තත්ත්වයක් වුණා නම් සිදු විය හැකිව තිබුණේ කනගාටු දායක සිදුවීමක්. ඒක වළක්වන්න අපි උපරිමයෙන් ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙලා ඒ වෙලාවේ තිබූ වර්ජන නිමාවට පත් කළා. වෙනස් කළා.

අන්න ඒ කටයුතු ඉටු කර ගන්න අපි ඇත්තෙන්ම ඉතාමත් කරුණාවෙන් මෛත්‍රීයෙන් දෙතුන් පැත්තට කතා කරලා අවස්ථාව සලසා දුන්නා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් බැහැර වීමට ඉතාමත් සාමකාමී නිරුපද්‍රිත වැඩපිළිවෙළ අපි යෙදුවා.

ඒක සම්බන්ධයෙන් අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. ඒ කාරණාව මම කියන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, අපි ගෝඨාභය රාජපක්ෂ මහතාත් එක්ක පෞද්ගලිකව එදිරිවාදීකමක්, වෛරයක්, තරහක් කිසිසේත්ම තිබුණේ නෑ කියන්න. මා ඇතුළු භික්ෂූන් වහන්සේලා මේ කටයුතුවලට යම් යම් උපදෙස් දීමේදී අපි හැම දෙනාගේම බලාපොරොත්තුව වුණේ අරගලකරුවන්ගේ දුක් වේදනාව නැති කර ගෝඨාභය මහතාට අදාළ උපදෙස් දී රාජ්‍යතන්ත්‍රය නිවැරැදි කර ගැනීමටත්, මහජන සාමය ආරක්ෂා කර ගැනීමටත් අදාළ පසුබිම හදන්නයි. ඒ නිසයි මා එතැනදී ඒ ආකාරයෙන් සම්බන්ධ වුණේ.”

COMMENTS