අනුරාධපුරයේ පාසල් දරුවන්ගෙන් සියයට 28කට මන්දපෝෂණය

අනුරාධපුරයේ පාසල් දරුවන්ගෙන් සියයට 28කට මන්දපෝෂණය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගෙන් සියයට 28ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

ඒ, මෙරට ගැහැනු ළමුන් හාරලක්ෂ දසදහසක් පමණ පෝෂණ ඌනතා හේතුවෙන් අඩු බරින් යුක්ත බව බ්‍රිතාන්‍යයේ ද ලැන්සෙට් සඟරාව අනාවරණ කළ පසුබිමකයි.

https://shorturl.at/kIQ56

අඩු බර දරුවන් සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරන පෝෂ්‍යදායී ආහාර ලබාදීමට මව්පියන්ට ආර්ථික ශක්තියක් නොමැති බව අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණා.

රටවල් හා පරිපාලන ඒකක 200ක සෞඛ්‍ය දත්ත මත පදනම්ව බ්‍රිතාන්‍යයේ ද ලැන්සෙට් සඟරාව කළ සමීක්ෂණයකට අනුව මෙරට පාසල් දරු දැරියන් 860,000ක් පමණ වයසට සාපේක්ෂව අඩු බරින් යුක්ත බව අනාවරණ වුණා.

ඒ අතරින් වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසුවන ගැහැනු ළමුන් 410,000ක් පමණ අඩු බරින් යුක්ත වීමට හේතුව පෝෂණ ඌනතා බවයි එහි දැක්වුණේ.

එය එම වයස් කාණ්ඩයේ සමස්ත ගැහැනු දරුවන් අතරින් 16.4%ක ප්‍රතිශතයක්.

ලොව පුරා රටවල් සැලකීමේදී එම ප්‍රතිශතය දෙවැනි වන්නේ ඉන්දියාවට පමණක් බව ද එහි සඳහන්.

මෙවැනි පසුබිමක ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගෙන් සියයට 28ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ මව්පියන් පෙන්වා දෙන්නේ සිය දරුවන් බහුතරයකට නිසි පෝෂණයක් ලබා දීමට තරම් තමන්ට ආර්ථික ශක්තියක් නොමැති බවයි.

දරුවන් වෛද්‍ය සායන සඳහා යොමු කළ ද වෛද්‍යවරුන් නිර්දේශ කරන පෝෂ්‍යදායී ආහාර ලබාදීමට තරම් ආර්ථිකයක් නොමැති වීමත් මෙම මව්පියන් මුහුණ පා ඇති තවත් ගැටලුවක්.

මේ අතර සනීපාරක්ෂක තුවාවල මිල ඉහළ යාම හමුවේ ගම්බද පාසල් දැරියන් අසීරුතාවන්ට මුහුණ පා සිටින බව රජරට දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.