අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගන්වන්න විශේෂ වැඩසටහනක්

අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගන්වන්න විශේෂ වැඩසටහනක්

අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම පශු සම්පත් අමාත්‍යාංශය හරහා කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් ගම් කුකුළු ගොවිපොළ ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

සමෘද්ධිය සඳහා රුපියල් බිලියන 60ක් වෙන් කර තිබුණද අස්වඇසුම සඳහා රුපියල් බිලියන 180ක් වෙන් කර ඇති අතර පසුගිය සමයේ සිදුවූ ආර්ථික අර්බුදයෙන් වැඩි වශයෙන්ම දුෂ්කරතාවට ලක්වූ ජනතාව වෙත එම සහනාධාර ලබාදීම සිදුවනු ඇති.

එමෙන්ම ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ජනතාව තවදුරටත් සවිබලගැන්වීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මහා භාණ්ඩාගාරය එක්ව මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසුවේ.