වෘත්තීය සමිති 18ක් අප්‍රේල් මුල දැවැන්ත වැඩවර්ජනයකට සැරසෙයි

දිගින් දිගටම රජයේ විධායක නිලධාරීන් විසින් කළ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජයෙන් ලබානොදීම හේතුවෙන් අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 18ක් තීරණය කර තිබේ.
ඊයේ (22) ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි වෘත්තීය සමිතිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
ජීවන වියදම සලකා බලා කෙටි කාලීනව සාධාරණ දීමනාවක් ලබාදෙන ලෙසත්, කළමනාකරණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය කොමිෂන් සභාව විසින් ගන්නා අත්තනෝමතික තීරණවලට විරෝධය දක්වමින් එම ආයතනවල නිසි ප්‍රතිසංස්කරණයන් සිදුකරන ලෙස රජයට බලකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය.
පසුගියදා අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී විධායක නිලධාරීන්ට බලපා ඇති ආර්ථික දුෂ්කරතා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බව ද එම කමිටුව සඳහන් කරයි.
මාර්තු 31 වන දා වනවිට මීට අදාළ විසඳුම් යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කර සිටි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, එසේ නොවුණොත් නිසැක වශයෙන්ම වැඩවර්ජනයකට යන බව ද පැවසීය.
අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සමිතිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික වෘත්තීය සමිතිය, ගණකාධිකාරී වෘත්තීය සමිතිය හා විභාග දෙපාර්තමේන්තු වෘත්තීය සමිතිය ඇතුළු සියලු සංගම්වල සහභාගීත්වයෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

