ප්‍රාථමික සිසුන්ට උදෑසන ආහාර වේල දීම ඇරඹෙයි

ප්‍රාථමික සිසුන්ට උදෑසන ආහාර වේල දීම ඇරඹෙයි

නීරෝගී, ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ සෑම පාසලකම ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සදහා උදේ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.

පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සියලු විදුහල්පතිවරුන්ට පසුගියදා උපදෙස් ලබාදුන්නා.

එමෙන්ම අදාළ ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍ය ආරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට ද අමාත්‍යංශයේ විශේෂ අවදානයක් යොමුව තිබෙනවා.

පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම, දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම සහ යහපත් ආහාර හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධක මට්ටම් වර්ධනය සදහා මෙන්ම දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.

රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට සහ සිසුන් සංඛ්‍යාව සියයට අඩු සියලුම පාසල් වලද මෙම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 1,660ක මුදලක් රජය විසින් වැයකර ඇති අතර එක් සිසුවෙකුගේ උදෑසන ආහාර වේලක් වෙනුවෙන් මෙහිදී රුපියල් 110ක් වැයකර තිබෙනවා.

මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරහේන්පිට සුජාතා බාලික විද්‍යාලයේ දී අද සිදුකෙරුණා.