පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරයක්

මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
පාසල් දැරියන්ගේ සෞඛ්යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සැලසීමට මෙම පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවර ගන්නා බව ත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.
මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්රතිපාදනය රුපියල් බිලියනයක් පමණ වන අතර, එක් වවුචර පතක වටිනාකම රුපියල් 1,200ක් පමණ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහය ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

