මෙරට පාසල් සිසුන්ට ජපානයෙන් පාපැදි

මෙරට පාසල් සිසුන්ට ජපානයෙන් පාපැදි

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ‘චයිල්ෆන්ඩ්’ ආයතනය මෙරටට පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා.

මෙම පාපැදි නිල වශයෙන් භාර දීම අද දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස්එජ්හිදී පැවති අතර එම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිෂුකොෂි හයිදේකි (MIZUKOSHI Hadeaki),

ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ නියෝජිත යුකෝ ඉෂාණ්ඩා (YUKO ISHANDA) හා ලංකා ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආදිති ගෝෂ් (ADITI GOSH) යන අය සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් මෙරටට ලැබී ඇති මෙම පාපැදි තොගය ලබා දීම සඳහා මොණරාගල, පුත්තලම, මුලතිව් වැනි ප්‍රවාහන දුෂ්කරතා සහිත දිස්ත්‍රික්ක 12ක පාසල් 108කින් වයස අවුරුදු 12-16ත් අතර සුදුසු සිසු සිසුවියන් තෝරාගෙන ඇති බවද සඳහන්.

නිවසේ සිට පාසලට අවම වශයෙන් කිලෝමීටර් දෙකහමාරක දුරක් පැමිණිය යුතු වීම මෙම පාපැදි ලබා දීමේ දී සලකා බැලු‍ණු ප්‍රධාන නිර්ණායකයක් වෙනවා.

සිසුන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතා හා වෙනත් අපහසුතා ද මෙහි දී සැලකිල්ලට බඳුන් කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ ආයතනයේ ඉල්ලීම පරිදි මෙම ප්‍රදානය මෙරටට ලැබී ඇති අතර ජපන් තානාපති කාර්යාලයේ මැදිහත් වීම හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශනය යටතේ මෙම පාපැදි අදාළ සිසු-සිසුවියන්ට ප්‍රදානය කරන බවයි වාර්තා වී ඇත්තේ.

මෙම පාපැදි, කලාප අධ්‍යාපන කාර්යාල හරහා ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ ආයතනය විසින් සිසුන් වෙත බෙදාහරිනු ලබනවා.

COMMENTS