අනුර සමඟ විවාදයකට සජිත් සුදානම්

අනුර සමඟ විවාදයකට සජිත් සුදානම්

මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත්, එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ අද (03) මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තුඅයියන්කට්ටු වම් ඉවුර ර.දෙ.මි. පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එහි දී විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑ ම ක්ෂේත්‍රයක් ඕනෑ ම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත්, වාද විවාද කිරීම මෙන් ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බවයි.

එසේ ම ඕනෑ ම වාද විවාදයකට තමා සූදානම් සේ, තමා සමඟ තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑ ම පක්ෂයකට අභියෝග කරමින් සිටින බවත් වාද විවාද සේම රටට සංවර්ධනයක් උදා කරන්නත් තමා සූදානම් බවට සතුටින් ප්‍රකාශ කර සිටින බවත් විපක්ෂ නායකවරයා එහි දී පැවසුවා.

COMMENTS