ප්‍රබලයන් රැසක් සමඟ සමගි ජන සන්ධානය එළිදකී

ප්‍රබලයන් රැසක් සමඟ සමගි ජන සන්ධානය එළිදකී

ආණ්ඩුවෙන් ස්වාධීන වී කටයුතු කරන නිදහස ජනතා සභාවේ ප්‍රබලයන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ගිවිසුමකට එළඹුණා.

සමගි ජන සන්ධානය ලෙසින් එළි දැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් අතරයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (05) පැවැති මෙම ගිවිසුම්ගත වීමේ උත්සවයට සමගි ජන බලවේගයේ ප්‍රබලයන් රැසක් මෙන්ම නිදහස ජනතා සභාවෙන් ඉවත් වී සමගි ජන සන්ධානය සමඟ අත්වැල් බැඳගන්නා මහාචාර්ය ජී.එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ. පී. එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් එක්ව සිටියා.

මෙම පිරිස ඉකුත් කාලය පුරාවට සමගි ජන බලවේගය සමග දේශපාලනයේ නියැලුණු අතර ඔවුන් අද සිට නිල වශයෙන් සමගි ජන සන්ධානයේ සාමාජිකයින් වනු ඇති.

මේ අතර ඊයේ මාධ්‍ය හමුවක දී සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් කියා සිටියේ එළඹෙන මැතිවරණ ඉලක්ක කරගෙන ගොඩ නැගෙන මෙම සන්ධානය මැතිවරණ ජයග්‍රහණය කිරීම, ආණ්ඩු බලය ලබා ගැනීම සහ ඉදිරියේ දී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු රජයක වැඩකටයුතු සිදුවන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම සන්ධානයට අදාළ ගිවිසුම අත්සන් කරන බවයි.

COMMENTS