ගැටඹේ විහාරස්ථානයේ සිදුවූ ඝාතනයට විහාරාධිපති අත්අඩංගුවට

ගැටඹේ විහාරස්ථානයේ සිදුවූ ඝාතනයට විහාරාධිපති අත්අඩංගුවට

ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේදී පුද්ගලයෙකු පහර දී ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය සිදු වී ඇත්තේ, මහනුවර, ගැටඹේ, දියකපනාතොට විහාරස්ථානයේදී ය.

පොලිසිය සඳහන් කළේ, පිං කැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයෙකු විහාරස්ථාන භූමියේදී මෙලෙස අතපය ගැට ගසා පහර දී ඝාතනයට ලක් වී ඇති බව ය.

මෙම පුද්ගලයා වයස අවුරුදු 42ක් වූ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකු බවට අනාවරණය වී තිබේ.

ඔහු පෙරේදා (07) අලුයම 3:30ට පමණ විහාරස්ථාන භූමියට පැමිණ ඇතැයි පොලිසිය පැවසීය.

ඔහුගේ මළ සිරුර නිරීක්ෂණය කිරීමේදී පුද්ගලයින් කිහිප දෙනෙකුගේ පහර කෑමට ලක්ව ඇති බවට ඔහුගේ ශරීරයේ දක්නට ලැබෙන තැලීම් තුවාලවලින් තහවුරු වන බව පොලිසිය සඳහන් කළේ ය.

ඒ අනුව, විමර්ශන සිදු කළ පොලිස් නිලධාරීන්ට පහර කෑමට ලක්ව සිටි මෙම පුද්ගලයා පැය ගණනාවක් යනතුරු රෝහල්ගත කිරීමට හෝ පොලිසිය දැනුවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් සැක මතු වී තිබේ.

පසුව විහාරාධිපති හිමි ඇතුළු පිරිසගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති අතර එහිදී ලබා දුන් ප්‍රකාශවල ඇති පරස්පරතාව මත පොලිසිය අදාළ විහාරස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔහුගේ ප්‍රකාශ මත විහාරාධිපති හිමිනම ද ඊයේ (අප්‍රේල් 8) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් විහාරාධිපති හා සිවිල් ආරක්ෂක නිලධාරියා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.