දරුවන් වෙනුවෙන් කැපවෙන මව්වරුන්ගේ දිනය අදයි

දරුවන් වෙනුවෙන් කැපවෙන මව්වරුන්ගේ දිනය අදයි

ගෙදර බුදුන් අම්මා ලොව වදනින් අරුත් ගැන්විය නොහැකි වටිනාම වස්තුවයි.

අම්මා නොසිටින්නට අපේ ජීවිතය පවතීද යන්න පවා අවිනිශ්චිත නොවේද?

දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන් ජීවිතයම කැප කළ අම්මාගේ ගුණ සුවද මෙදියත දස විසිරෙන්නේ කිසිදිනෙක කිසිවකට සම කළ නොහැකි ලෙසින්.

අම්මා සමරන්නට දින අවැසි නොමැති බව අප සදා සිහිපත් කළත්, අද සැමරෙන ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යනවා.

සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙන අතර ඇතැම් රටවල් මෙය හඳුන්වන්නේ මව්වරුන්ගේ ඉරිදාව ලෙසයි.

උපන් දා සිට අම්මා ජීවිතය කරගත් අපටත්, මව්වරුන්ගේ දිනයේ වැදගත්කම කියන්නට සිදුව ඇත්තේ අදවත් අම්මාගේ ගුණ සිහි නොවන අල්පයක් වූ දරුවන් සිටින නිසාවෙන්.

ලොව හිරු කිරණින් සහ අම්මාගේ රුධිරයෙන් ජීවය ලබද්දී මව් සෙනෙහස අතරමග තනිකර දමන දරුවන් අදවත් අම්මාගේ මහිමය සිහි කර ඇය දිවි දෙවෙනි කොට සුරක්ෂිත කරයි නම්, එය ලොව පැවැත්ම තවත් දිගු කරනවා නියතයි.

මව්වරුන්ගේ දවස අද පමණක් නොව ලොව අප හුස්ම ගන්නා සෑම තත්පරයක්ම අම්මාට අයිති බවද සිහිපත් කළ යුතුමය.