ජපානයෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජපානයෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

වාහන අපනයන කිරීමට රජය යළි අවසර දුන්නද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසනවා.

තවදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසුවේ මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවන විටත් උපදෙස් ලැබී ඇති නිසා එම තීරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවිය හැකි බවත් එමනිසා යළි ජපානයෙන් වාහන ගෙන්වීමේ දී සැලකිය යුතු කාලක් ගතවිය හැකි බවයි.

ජපානයේ සිට විදේශ රටවලට වාහන අපනයන කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින ජගත් රාමනායක මහතා සිය ජපාන අත්දැකීම් සමඟ ශ්‍රී ලංකාවේ වාහන වෙළදපොළ සම්බන්ධයෙන් මතුවිය හැකි තත්වය මෙසේ ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට වාහන අපනයන කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ශ්‍රී ලංකා රජය ජපාන බැංකු පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

මේනිසා මේවන විට ජපානයේ බැංකු වලින් පහසුවෙන් මුදල් නිදහස් කරගැනීමට නොහැකිවේ. ශ්‍රී ලංකාව හෙට යළි වාහන ගෙන්වීම සදහා අවසර ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුය.

මේ සඳහා යම් කාලයක් ගතවන බැවින් ඉක්මනින් යළි වාහන ගෙන්වීමේ හැකියාවක් නොමැත.

ශ්‍රී ලංකාවේ බොහෝ නීති රීති පැය 24ක් තුළ වෙනස් කෙරෙන බවත් එවැනි තත්ත්වයන් තුළ මෙවැනි ව්‍යාපාර වලදී බොහෝ අසීරුතා පැන නගින බව සඳහන් කළ මෙතුමා තවදුරටත් පැවසුවේ යම් නීතියක් වෙනස් කරන්නේ නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට නොමැතිව යම් නිශ්චිත කාලවකවානුවක් ලබාදී එය සිදු කළ යුතු බවයි.

මෙසේ කඩිනම් නීති වෙනස් කිරීම තුළින් අහිංසක පුද්ගලයන් අපහසුතාවයට පත් වන බවත් මීට වසර හතරකට පෙරද මෙසේ වාහන ගෙන්වීම නතර කැළ බවත් එහිදී ඒවන විටත් ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවා තිබු පුද්ගලයන් ගණනාවකගේ වාහන ලංකාවට එවූ අතර එම වාහන වසර හතරක් පුරා හම්බන්තොට වාරයේ හොඩ ගසා තිබු බවත් මෑතකදී එම වාහන නිදහස් කිරීම සිදු කරනු ලැබු බවත් ය.

මෙසේ අපහසුතාවයට ලක් වූයේ කිසිවකුටත් වරදක් නොකළ ජනතාවයි. මෙවැනි තත්වයන් සිදුනොවිය යුතු බවත්‍ එතුමා තවදුරටත් පැවසීය.

මම රටවල් 50ක් 60ක් සමඟ ගනුදෙනු කරන පුද්ගලයෙක් ලංකාව තරම් වේගයෙන් නීති වෙනස් කරන රටක් මම දැක නොමැත.

කෙසේ නමුත් වර්තමාන වනවිට වාහන අපනයන සඳහා අවසර ලබා දීම වඩාත් උචිත බව දක්වන මෙතුමා තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව දැනටමත් ඒ සඳහා ප්‍රමාදව කටයුතු කරනු ලබන බවයි. කොරෝනා වසංගතයෙන් පසු නවීන වර්ගයේ වාහන ලෝකය පුරා දැකගත හැකි බවත් ශ්‍රී ලංකාව ද මෙවැනි වාහන ආනයනය සඳහා කටයුතු කළ යුතු බවත් එතුමා තවදුරටත් පැවසීය.

COMMENTS