සමාජ මාධ්‍ය නිසා පාසල් දරුවන් දුම්කොළ භාවිතයට හුරුවෙලා

සමාජ මාධ්‍ය නිසා පාසල් දරුවන් දුම්කොළ භාවිතයට හුරුවෙලා

සමාජ මාධ්‍ය ඇතුලු විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන විවිධ බලපෑම් හේතුවෙන් වර්තමානයේ පාසල් දරුවන් වැඩි වශයෙන් දුම්කොළ භාවිතයට යොමු වී සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

ලෝක දුම්කොළ විරෝධී දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මඟින් සංවිධානය කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කළා.

දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට මරණ 50කට ආසන්න ප්‍රමාණයක් සිදුවන අතර, එය වාර්ෂිකව දළ වශයෙන් මරණ 20,000ක් පමණ වන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

අද මැයි 31 දිනට යෙදී ඇති ලෝක දුම්කොළ විරෝධී දිනයේ තේමාව වන්නේ “දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම් වලින් දරුවන් ආරක්ෂා කිරීම” යන්නයි.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර දුම්වැටි පරිභෝජනය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින අතර සමස්ත ජාතික වශයෙන් 9.1%ක පහත වැටීමක් දක්නට ලැබෙන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේය.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මෑත වාර්තාවකින් පෙන්නුම් කරන්නේ ගෝලීය වශයෙන් වයස අවුරුදු 13-15 අතර ළමුන් මිලියන 37 ක් දුම්කොළ භාවිතා කරන බවත්, බොහෝ රටවල නව යොවුන් වියේ දරුවන් අතර විද්‍යුත් සිගරට් භාවිතයේ අනුපාතය වැඩිහිටියන්ට වඩා වැඩි බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ, සමීක්ෂණයට ලක් කළ 15-හැවිරිදි ළමුන්ගෙන් 20%ක් පසුගිය දින 30 තුළ විද්‍යුත් සිගරට් භාවිත කළ බව වාර්තා වී ඇත්තේ.