පොලිසියේ වැටුප් ලබන වසරේ ඉහළට

පොලිසියේ වැටුප් ලබන වසරේ ඉහළට

පොලිසියේ වැටුප් ඉහළ දැමීම ලබන වසරේදී අනිවාර්යෙන්ම සිදු කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

එය යුද හමුදා වැටුපට සමාන කරන බවයි පොලිස්පති විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරි ඉටුකරන ලද පොලිස් නිලධාරීන්ට සහ වසර 33 කට පසු ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරගයේ ශූරතාව ජයග්‍රහණය කළ නිලධාරීන් ඇතුළු 436 දෙනෙකුට මෙහිදී මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණා.

එමමුදල රුපියල් දෙකෝටි තිස්පන් ලක්ෂ තිස් දෙදහස් පන්සීයක් පමණ වනවා.

පොලිස්පති ප්‍රශංසා 191 ක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

මෙම මුදල් සංකේතාත්මකව ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදීයී.

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් තොරතුරු ලබා දෙන ලද පුද්ගලික ඔත්තුකරුවන්ට ද මුදල් ත්‍යාග ප්‍රදානය කළා.

වැලිඔය කුඩා දරුවාට පහරදීමේ සිද්ධිය වීඩියෝගත කළ කුකුල් චමින්ද යන අය අත්අඩංගුවට ගැනීමට මග සැලසූ තරුණයාට රුපියල් ලක්ෂ 05 ක මුදලක් මෙහිදී ප්‍රදානය කෙරුණා.