පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000කට මුද්‍රා තැබේ

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000කට මුද්‍රා තැබේ

අලෙවි කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000කට ත්‍රිකුණාමලය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබා තිබෙනවා.

එම සහල් සාම්පල සහ සහල් තොග රැස්කර ගෙන සිටි සහල් මෝල් හිමියා එළැඹෙන 20 වැනිදා කන්තලේමහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කන්තලේ නගරයේ පිහිටි සහල් වෙළෙඳසැලකින් පසුගිය දිනක පාරිභෝගිකයෙකු සහල් මිලදී ගෙන තිබෙනවා.

එම සහල්වල ගුල්ලන් සිටි බව නිරීක්ෂණය වී තිබුණේ එම සහල් නිවසට රැගෙන විත් පිසීමට සූදානම් කරන අවස්ථාවේදීයී.

වැඩිදුරටත් එම සහල් පරීක්ෂා කිරීමේදී දක්නට ලැබී ඇත්තේ එම සහල් තුළ පණු කැදලි ද සමග පණුවන් සිටින ආකාරයයි.

ඒ අනුව ත්‍රිකුණාමලය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් කන්තලේ නගරයේ පිහිටි එම සහල් වෙළෙඳ සැලට සහල් ලබාදුන් කන්තලේ වාන්ඇළ ප්‍රදේශයේ පිහිටි සහල් මෝල වටලනු ලැබුවා.

එහිදී අනාවරණ වුණේ මෙම සහල් මෝල තුළ සහල් නිෂ්පාදනය කිරීම වෙනුවට යාපනය සහ පොලොන්නරුව වැනි ප්‍රදේශවලින් සහල් ගෙනැවිත් යළි අසුරා වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

මෙම ස්ථානයේ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000ක් සොයාගනු ලැබුවා.

පරිභෝජනයට නුසුදුසු මෙම සහල් තොග සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් මුද්‍රා තැබූ අතර සහල් තොග සාම්පල සහ මෝල් හිමියා ලබන 20 වැනිදා කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS