පොලිසියට සුනඛයින් ගේන්න පොලිස් කණ්ඩායමක් නෙදර්ලන්තයට

පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අලුතින් සුනඛයන් රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් නෙදර්ලන්තය වෙත ගොස් තිබෙනවා.
මහනුවර අස්ගිරිය පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයට සුනඛයන් තිස්පස් දෙනෙකු අලුතින් මිලදී ගැනීමට නියමිතයි.
මේ සඳහා එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත කුලසේකර, එම කොට්ඨාසයේ පශු වෛද්‍ය අමල් දිසානායක හා පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී නලින් හෙට්ටිආරච්චි ඇතුළු පිරිස නෙදර්ලන්තය වෙත ගොස් තිබෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
මෙසේ රැගෙන එන සුනඛයින් මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා මෙන්ම ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන් හඳුනා ගැනීමේ මෙහෙයුම් සඳහාද පුහුණු කිරීමට නියමිතව තිබෙනවා.
දැනට පොලිස් නිල සුනඛ කොට්ඨාසය සතුව සුනඛයින් 250ක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.
මොවුන් අතරින් සුනඛයින් 90ක් පමණ මහනුවර අස්ගිරිය පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසය බාරයේ සිටින අතර තවත් සුනඛයින් 160 දෙනෙකු පමණ දිවයින පුරා පොලිස් කොට්ඨාසවලට අනුයුක්තව සිටිනවා.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාංචන ගොඩකුඹුරගේ උපදෙස් මත සුනඛයින්ට පුහුණුව ලබා දෙනවා.

