අද සහ හෙට තවත් පිරිසක් ලෙඩ වෙයි

අද සහ හෙට තවත් පිරිසක් ලෙඩ වෙයි

තම වැටුප් විෂමතා මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරින් අද (25) සහ හෙට (26) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ.

එමෙන්ම අද කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වීමටද කටයුතු සුදානම් කර ඇති බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

එසේම හෙට (26) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

මේ අතර වැටුප් විෂමතා ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් ඊයේ ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කළේය.

මොරටුව සහ රජරට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් ඊයේ සත්‍යග්‍රහයක් ඇරඹූ අතර පාසල් අනධ්‍යයන සේවකයින් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටී.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා පාසල්, ගුරු විද්‍යාල සහ විද්‍යා පීඨවල අනධ්‍යයන සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ සිට දෙදින වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මධ්‍යම, උතුරු මැද සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ඊයේ විරෝධතා පැවැත්වුණි.

මේ අතර 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද 55 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඊට සමගාමීව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් මොරටුව සහ රජරට විශ්වවිද්‍යාලවල සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ඉන් මොරටුව සත්‍යග්‍රහය අට්ටාලය ඉදිකිරීමට යාමේදී ඊයේ විරෝධතාකරුවන් හා පොලීසිය අතර මතභේදයක් හටගත්තේය.

රජරට විශ්වවිද්‍යාලයයේ වෘත්තීය සමිති ඒ්කාබද්ධ බලමණ්ඩලය මිහින්තලය පරිශ්‍රයේ ආරම්භ කළ සත්‍යග්‍රහය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන ද එක්විය.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනක් නිකුත් කරමින් සඳහන් කළේ රජරට විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවල සහ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බවය.

මේ අතර වසර 27ක සිට ලබාදිය යුතු අමතර සේවා දීමනාව ලබා නොදීම සහ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොදීම යන කරුණු මත රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් ඊයේ රාජකාරීවලින් ඉවත්වී මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

අනතුරුව ඔවුන් සහ මුදල් අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව වාර්තා විය.

ඊයේ පැවති විරෝධතාවය හේතුවෙන් රජයේ ආයුර්වේද රෝහල්වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් ද අසීරුතාවට පත් වී තිබුණා.

COMMENTS