ගුරු භූමිකාවේ ගරුත්වය රැකීම ගුරුවරුන්ගේ වගකීමක් – ජනපති

ගුරු භූමිකාවේ ගරුත්වය රැකීම ගුරුවරුන්ගේ වගකීමක් බවත් රටේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීමට ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (27) අස්ගිරි, මල්වතු මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
මහනුවර සුවිසල් නගර සංවර්ධන සැලැස්ම ද මහනාහිමිවරුන්ට පිළිගැන්වීම එහිදී සිදු කෙරුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ මහනුවරට පැමිණි අතර ප්‍රථමයෙන් ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබුණි.
වැටුප් විෂමතාවක් ඇති නොවන අයුරින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ලබන වසරේ සිට සකසන බවද මහනාහිමිවරුන් හමුවේ ජනපති පවසා තිබේ.
රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේ දී ඉදිරියේදී ඔවුන්ට, දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.
මෙම අර්බුදය සමස්ත ගුරු සේවය තුළම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැළලක් සිදුවී ඇති බවත් සඳහන් කළේය.
එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් තුළ පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළේය.
එමෙන්ම පාසලේ මුරකරුවන් විසින් දරුවන් හරවා යවන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එවන් සිදුවීම්වලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
කලාශිල්පී අතුල හේරත් මහතා විසින් කෘතීම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබු රජෙකුගේ හා බිසවකගේ පිළිරූ ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පුද බිම වෙත පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.
මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මල්වතු මහනා හිමියන් එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ලබන වසරේ සිට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවය.
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ,
“මා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ මල්වතු මහා විහාරය වෙත පැමිණියා. ඔබ වහන්සේලා ලබා දුන් උපදෙස් අනුව රට පාලනය කර අද රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට මට හැකි වී තිබෙනවා. අද මා පළමුවෙන්ම මෙහි පැමිණියේ එම පණිවිඩය ඔබ වහන්සේට දැනුම් දීමටයි. විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අප මේ වන විට එකඟතා දෙකකට අත්සන් තබා තිබෙනවා.”
“ගුරුවරුන්ට නැවත වැටුප් වැඩි කිරීමකට අවශ්‍ය පහසුකම් සලසා දිය හැක්කේ ලබන වසරේදී බව කිව යුතුයි. ඒ පිළිබඳ අප ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම අනෙක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සලකා බැලීමට සිදුවෙනවා. මොකද 2022 වසරේදී ගුරුවරුන්ට රුපියල් 3,000-17,000ත් අතර ගණනකින් වැටුප් වැඩිවීමක් සිදුව තිබෙනවා.”
“ඉන් පසුව ඔවුන්ට මේ වසරේ රුපියල් දසදහක වැටුප් වැඩිවීමක්ද සිදු වුණා. ඒ අනුව බැලූවිට රුපියල් 13000- 27000ක වැටුප් වැඩිවීමක් ගුරුවරුන්ට මේ වන විට ලැබී තිබෙනවා. එම නිසා අනෙක් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ද සාකච්ඡා කළ යුතුයි.”
“මේ වන විට දෙමළ මුස්ලිම් පාසල් ක්‍රියාත්මක වෙනවා. සිංහල පාසල්වල ගුරුවරුන් පමණයි මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව 2025 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම එක් ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සොයා බැලීමට මේ වනවිට කමිටුවක්ද පත් කර තිබෙනවා.”
“මහනුවර නගර සංවර්ධන සැලැස්මට අනුව පරිපාලන නගරය කුණ්ඩසාලයට ගෙන යාමට කටයුතු කරනවා. එහිදී ඉන්දියානු IIT විශ්වවිද්‍යාලයත් මහනුවර ස්ථාපිත කිරීමට සාකච්ඡා කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේ සිදු කරන අතරම අස්වැසුම, උරුමය වැඩසටහන් මඟින් ජනතාවට සහන ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.”
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ,
“සාම්ප්‍රදායික දේශපාලන බෙදීම් අනුව කටයුතු කර මේ රට ගොඩගත නොහැකියි. දේශපාලන වශයෙන් බෙදිලා කටයුතු කළා නම් වසර දෙකක් තුළ රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අද තිබෙන තත්ත්වයට රට ගෙන ඒමට පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයකම විවිධ කොටස් අපට සහාය ලබා දුන්නා. ඒ වගේම සෑම පක්ෂයකම කොටසක් විපක්ෂයටත් ගියා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවත් සමඟ එක්ව කටයුතු කළා නම් රටක් ලෙස අපට මීට වඩා යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකිව තිබුණා.”
“රටේ ආර්ථිකය ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලුදෙනාට ආරාධනා කර තිබෙනවා. අද ලෝක දේශපාලනය වෙනස් වෙමින් පවතිනවා. එංගලන්තය, අමෙරිකාව, ප්‍රංශය වැනි රටවල ප්‍රධාන පක්ෂ කැඩී යමින් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ බිඳී යාම පුදුමයට කරුණක් නොවෙයි.”
“නුවර කොළඹ අධිවේගි මාර්ගයේ කොළඹ සිට මීරිගම දක්වා කොටස චීනයේ සහාය ඇතිව සහ කුරුණෑගල සිට මහනුවර දක්වා කොටස ජපානයේ සහාය ඇතිව නිම කිරීමට මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටද ඔබ වහන්සේලාගේ සහාය අපේක්ෂා කරනවා.”
මේ අතර බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන වෙත අද පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ මහනාහිමියන් දැනුවත් කළේය

