ශ්‍රී ලාංකික කාන්තාවක් එංගලන්තයේ මැතිවරණ සටනට

යාපනයේ ඉපිද එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචියට කුඩා කල ගිය දමිළ කාන්තාවක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වී සිටියි. ක්‍රිෂ්ණා රිෂිකරන් නමැති ඇය සිය මවුපියන් අහිමි වීමෙන් පසුව ඥාතියෙකු සමඟ ලන්ඩනයට ගොස් එහි ජීවත් වී ඇත්තේ ළමා නිවාසයකය. කටුක අත්දැකීම් සම්භාරයක් මැද තමන් මේ ගමන පැමිණි බව කියන ඇය දැනට ලන්ඩනයේ පුණ්‍යායතනයක හා තවත් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක සේවය කරයි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කිරීමත් සමාජ අසාධාරණයට එරෙහිව නැඟී සිටීමත් තම එකම බලාපොරොත්තුව බව පවසන ඇය තමන් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී චැටන් සහ සෙම් යන පළාත්වලට තරග කරන බවද පවසයි. දැනට ඇය ජීවත් වන්නේද චැටන් ප්රදේශයේය.
ඇය තරග කරනු ලබන්නේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂය සමඟ සන්ධානගත වූ කොන්සර්වේටිව් පක්ෂයෙනි.

