ඡන්දෙට ලෑස්තිවෙන්න : මැකෝ දන්වයි

මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියටත්, පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී තිබෙනවා.
මෙසේ දැනුම්දී ඇති ආයතන අතර, ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයද ඇතුළත්.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල පුරප්පාඩු පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස සියලුම ග්‍රාම නිලධාරින්ට පසුගිය සතියේදී දැනුම්දුන් බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.
මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන් සහ වාහන පිළිබඳව ද සංගණනයක් පවත්වන ලෙස සියලුම දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම්දී තිබෙනවා.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝම්බර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිසන් සභාව පසුගියදා නිවේදනය කළා.
මේ අතර ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා. ඇය කියා සිටියේ ඉදිරි මැතිවරණයට අදාළ වියදම් ගණනය කරමින් පවතින බවයි.
පසුගිය ජනාධිපතිවරණයට රුපියල් මිලියන 300 ක මුදලක් වැයවූ බවත්, මෙවර ඊට වඩා වැඩි මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කරන බවද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා.
ඡන්දයට අදාළ පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත්, ඡන්ද දායකයන් සංඛ්‍යාව ඉහළ යාමත් මෙලෙස වියදම් වැඩිවීමට හේතුවී තිබෙනවා.
මේ අතර ඕනෑම මැතිවරණයකට තම සේවකයන් සූදානම් බව රජයේ මුද්‍රණාල සමගි සේවක සංගමයේ නියෝජ්‍ය සභාපති නුවන් බුද්ධික ප්‍රකාශ කළා.

