ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සම සළකා බැලීම අද

ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සම සළකා බැලීම අද

ජනාධිපතිවරණයට අදාළව නීතීඥවරයෙකු විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සලකා බැලීම සදහා අද (15) දිනයේදී කැදවීමට නියමිතයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය විධිමත්ව සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ලබාගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නීතිඥ අරුණ ලක්සිරි උණවටුන නැමැත්තෙකු විසින්.

ඒ අනුව, අදාළ පෙත්සම සලකා බැලීම සදහා අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට කැදවෙනු ඇති.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර සිටිනවා.

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා සී.ඩී. ලේනව නැමැති ව්‍යාපාරිකයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමටයි පසුගියදා නියෝග කෙරුණේ.

මේ අතර, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ ජනතාව අතර යම් ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තුවෙන් ඒ හරහා ජනාධිපතිවරණය කල්දැමීමේ උත්සහයක් ක්‍රියාත්මක කිරීමේ අනතුරක් තමන් දකින බවයි.

COMMENTS