විදුලි ගාස්තුව බැස්සු විදිහටම වතුර බිලත් බස්සයි

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට මෙම සතිය තුළ තීරණයක් ගැනීමට හැකිවනු ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.
එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් “මේ වන විට නව ජල සම්බන්ධතා ප්‍රමාණය 113,000ක් දක්වා වර්ධනය කර තිබෙනවා. තවත් සම්බන්ධතා 30,000 ක් පමණ ඉදිරි සතිවලදී ලබාදීමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය මාසිකව ලැබූ රුපියල් බිලියන 2.8ක අලාභය මේ වන විට රුපියල් බිලියන 6.2ක මාසික ලාභයක් බවට පත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. තවද රුපියල් බිලියන 4.5 ක පුනරාවර්තන වියදමක් සහිතව, ඉතිරි මුදල් ප්‍රමාණය ණය සේවාකරණය සඳහා යොදා ගනිමින් ජල සම්පාදන අංශය තිරසර මට්ටමට ගෙනවිත් තිබෙන බවද සඳහන් කළ යුතුයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා අපි ප්‍රතිපත්ති මත පදනම් වූ ණයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ලබා ගත්තා. ඒ හා සමානව, ජල සම්පාදන ක්ෂේත්රය සඳහා, අප උප වැඩසටහනක් සිදු කිරීමට සූදානමින් සිටිනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවල අවසන් නිකුතු දෙක වන ජල ගාස්තු සූත්‍රය සහ ආයෝජන රාමු නිර්ණායක සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කළ පසු තවත් ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, ජල ගාස්තු ගෙවීමේදී අවදානමට ලක්විය හැකි සහ දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රජාවන් ආරක්ෂා කිරීමට ද අප කටයුතු කරනවා. පුණ්‍ය ආයතන ලෙස වර්ග කර ඇති රෝහල්, පාසල් සහ ආගමික ආයතනවලට සහනාධාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා” යැයි අමාත්‍ය ජිවන් තොණ්ඩමන් වැඩිදුරටත් කියා සිටියා.

