රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක මෘදුකාංගයක හටගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට යම්කිසි බලපෑමක් සිදුව ඇතිද යන්න සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ඡ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ එම තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන්නේ මයික්‍රොසොෆ්ට් යෙදවුම් මත පදනම්වද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම වාර්තා කැඳවා ඇති බවයි.
එමෙන්ම පෞද්ගලික ආයතන 4කට එහි බලපෑම් ඇතිවී ඇති බවත් නිලනොලත් වාර්තා අනුව බැංකු දෙකකට ද යම් බලපෑමක් සිදුව ඇති බවත් වාර්තා වී ඇති බව ඒ මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක් වන ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගමේ ෆැල්කන් නම් මෘදුකාංගයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා රටවල් රැසක බැංකු, ගුවන් තොටුපොළ ඇතුළු ආයතන ගණනාවක කටයුතුවලට අද දැඩි බලපෑම් එල්ල වුණා.

