සිරකරුවකු පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් රෝහලට

සිරකරුවකු පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් රෝහලට

සිරකරුවෙකුගේ මාංචුවෙන් පහර කෑ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවකු හෙට (25) කල්මුනේ මහාධිකරණයේ පවතින නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට තිබූණා.

එම නඩුව සදහා අද (24) එම රැඳවියා බෝගම්බර බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ මඩකලපුව බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියා.

මේ අතරතුර උඩුදුම්බර ප්‍රදේශයේදී ආරක්ෂාව භාරව ගිය සැරයන්වරයෙකුට හා මාංචු භාර නිලධාරියා හට මෙම සිරකරුට යොදා තිබූ මාංචුවෙන් පහර දී තිබෙනවා.

එම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා උඩුදුම්බර රෝහල වෙත ඇතුලත් කළ පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකිරීමට කටයුතු කෙරුණා.

සිදුවීමත් සමග බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් උඩුදුම්බර පොලිස් ස්ථානය වෙත ගොස් නැවත රැඳවියා බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙන්වා ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පැවසුවේ.

එහිදී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිරකරු අධිකරණයවෙත ඉදිරිපත් කිරීම සඳහා නැවත මඩකලපුව බන්ධනාගාරයවෙත මාරුකිරීමට කටයුතු කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සිදුවීම පොලිසියට පැමිණිලි කළ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.