පුද්ගල ඝාතනයකට සිව් දෙනෙකුට මරණ දණ්ඩනය

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයක පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් තීන්දුව ලබා දුන්නා.
තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.
ඒ අනුව විත්තිකරුවන් හතර දෙනාට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
මෙම චෝදනාව එල්ල වී සිටි තවත් විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.
2013 වසරේ කොළඹ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී බීමත්ව සිටි පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් බාල ක්‍රිෂ්ණන් ජගත් කුමාර නමැත්තාට පහරදී මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

