ගලබොඩ ඤාණිස්සර හිමිගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනූග්‍රහයෙන්

ගලබොඩ ඤාණිස්සර හිමිගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනූග්‍රහයෙන්

මෙරට ශාසනික අභිවෘද්ධියත්, සමාජ මෙහෙවරත් සිය පැවිදි දිවියේ අභිලාෂය කරගත් යතීන්ද්‍රයන් වහන්සේ නමක් වූ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන් ඊයේ (02) දහවල් අපවත් විය.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට අසූ එක්වැනි වියෙහි පසුවිය.

1943 දෙසැම්බර් 14 වනදා මාතර ගලබොඩ ග්‍රාමයේ, ගලබොඩ කංකානම්ගේ දොන් කරුණාරත්න නමින් උන්වහන්සේ මෙලොව එළිය දුටුවේය.

දිවියේ අවුරුදු 11ක් ගතවන්නත් පෙර සිය ශාසනික චාරිකාව උන්වහන්සේ අරඹන්නේ 1954 නොවැම්බර් 08 වනදා හුණුපිටිය ගංගාරාමයේදී පැවිදි දිවියට එළඹෙමිනි.

සරසවි දිවියේ කැපී පෙනෙන ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ මේ තරුණ භික්ෂුව සිය උපාධිය 1965දී සම්පූර්ණ කර තිබේ.

සිය ගුරු හාමුදුරුවන්ගෙන් පසු  හුණුපිටිය ගංගාරාමයේ වගකීම් මේ තරුණ භික්ෂුවට පැවරුණේ සොළොස් විය තරම් අඩු වයසකදී.

“ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ” එතැන් පටන් හැඳින්වුණු ඒ ආදර ගෞරවණීය නාමය සසුන පුරා නොමැකෙන නමක් විය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ භික්ෂු උරුමය සුරකිමින් විහාරයේ වගකීම් මනාලෙස ඉටු කළ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ කා අතරත් නොමඳ ගෞරවයට පාත්‍රවුණු යතිවර නමකි.

පාට පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලන නායකයින් උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ලැබීම උන්වහන්සේගේ චරිතයේ පැවති සුවිශේෂීතාවකි.

රාජ්‍ය නායකයින් ධුරය භාරගත් පසු ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් බැහැදැක ආශිර්වාද ලබාගැනීම සුලබ දසුනක් විය.

ඕනෑම බලවතෙකු ඉදිරියේ පවා අසාධාරණයට එරෙහිව නොබියව සිය මතය ඉදිරිපත් කිරීමට තරම් සෘජුභාවයක් උන්වහන්සේ තුළ පැවතියේය.

ජාති , ආගම් භේදයකින් තොරව පරිත්‍යාගශීලීන්ගේ සහායෙන් අගනගරයේ මහා පෙරහර මංගල්‍යයක් ලෙසින් නවම් පෙරහර ඇරඹීම උන්වහන්සේ‌ගේ ශාසනික මෙහෙවර ලොව ප්‍රකට වුණු අවස්ථාවකි.

සසුනේ මෙහෙවර පමණක් නොව, උන්වහන්සේ මෙරට ගිහි පැවිදි සිසුන්ගේ අධ්‍යාපනය , භාෂා කුසලතා නැංවීම සහ වෘත්තිය අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රශංසනීය සමාජ මෙහෙවරක නියැලි යතිවරණයන් වහන්සේ නමක් ද විය.

ඤාණිස්සර පිරිවෙණ, භික්ෂු අභ්‍යාස ආයතනය, ජිනරතන කාර්මික විද්‍යාලය ඊට කදිම උදාහරණයකි. 

එපමණක් නොව ජාතික ව්‍යවසනවලදී පෙරට පැමිණීම, ළමා සහ වැඩිහිටි නිවාස ඇරඹීම, අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා කාර්මික පුහුණුව ලබාදීම, මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවීම, විශ්‍රාම ශාලා කරවීම ඇතුළු බොහෝ සේවා උන්වහන්සේගේ දශක හතක ශාසනික මෙහෙවර ඔපවත් කළේය.

අපවත් වූ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ දේහය පෞද්ගලික රෝහලේ සිට කොළඹ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ආවේ ඊයේ පස්වරුවේදීය.

පොඩි හාමුදුරුවන්ගේ අපවත්වීම සැලවූ වහාම මහා සංඝරත්නය සිව්දිගින් හුණුපිටිය ගංගාරාමයට වැඩමකළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ තවත් පාර්ශ්ව කිහිපයත්ද ගංගාරාමයට පැමිණ සිටියේ‍.

අදාහන පූජෝත්සවය පිළිබඳ තීරණය කිරීමට ආදාහන කමිටුව එහිදී රැස්විය.

ඒ අනුව උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව එළඹෙන 05 වන සඳුදා පස්වරුවේ විහාරස්ථාන විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට තීරණය කළේය.


සෘජු ගුණයෙන්, ආගන්තුක සත්කාරයෙන්, පරාර්ථ චර්යාවෙන් මෙරට ශාසනික ඉතිහාසයේ පරිච්ඡේදයක් ලියූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට අමාමහ නිවන් සුව!