සැප වාහන 7කට වෙච්ච දේ

වසර 6ක් පුරා රේගුවට හොරෙන් ආනයනය කොට රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ බව කියන රුපියල් කෝටි හතලිහකට අධික වටිනා වාහන 7ක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අල්ලස් කොමිසමට අද (06) නියෝග කළා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝග නිකුත් කර ඇත්තේ.
හොර රහසේ ආනයනය කළ වාහන රැසක් මීට පෙරද අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගත් බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.
මේවා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් නොනැවති අදාළ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බව මහේස්ත්‍රාත්වරයා පැවසුවා.
2018 වසරේ සිට 2024 වසර දක්වා ආනයනය කරන වාහන සඳහා ඉංග්‍රීසි අකුරු තුනක් සහිත ලියාපදිංචි අංකයක් හිමි විය යුතු වනවා.
නමුත් පරිගණක පද්ධතියේ දත්ත මකා තීරෝද රථ මෝටර් සයිකල් ඇතුළු අඩු වටිනාකමින් යුත් වාහන අංක සඳහා මෙම සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කර ඇති බවටයි අධිකරණයේදී කරුණු අනාවරණය වුණේ.
බදුල්ල, වාරියපොළ, බලන්ගොඩ, වත්තල, ඇතුළු ප්‍රදේශයවල විවිධ පුද්ගලයින් හත් දෙනෙකුගේ නමට ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද නියෝග කොට තිබෙනවා.
මේ ආකාරයට හොරට ආනයනය කර ලියාපදිංචි කළ වාහන 200කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් අනාවරණය කරගෙන තිබෙනවා.
මේ අතර 2015 වසරෙන් පසුව 2024වසර දක්වා තවත් විශාල ප්‍රමාණයක් මෙලෙස ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් අල්ලස් කොමිසම කරුණු දක්වමින් පවසා තිබෙනවා.

