පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් සහතිකයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ඊයේ (06) මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
ඊයේ පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.
මෙහිදී ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි. අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් වූ අතර පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත් වුවත් එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා එහි දී අවධාරණය කළේය.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අදහස් දැක්වූවේ ය.
”දැනට අවුරුදු පහකට වඩා වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. අපි එවැනි ඛේදවාචකයක් කිසිසේත්ම කලයේ, වැලිතලාවට යටපත් වෙලා ඒක මකාදමන්න ඉඩ දෙන්නේ නැහැ. මම පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක ලේකම්තුමාට උපදෙස් දුන්නා අපි මේ පරීක්ෂණය කළ යුතු වන්නේ පූර්ව නිගමනයක ඉඳගෙන ඒ නිගමනය සහතික කරගැනීම සඳහා සහතික එකතු කිරීම නෙවෙයි. අපි ඉතාමත් විවෘත මනසෙකින් යුතුව මේ සිද්ධ වුනේ මොකක්ද? මේ පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබෙනවාද කියලා ඉතාමත් නිරවුල් පරීක්ෂණයක් කරන්න කියලා මම උපදෙස් දුන්නා. හේතු කිහිපයක් තියෙනවා පළමු එක තමයි සමාජයේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන අපේ රටේ දේශපාලනයේ වෙනසක් සඳහා මෙවැනි ප්‍රහාරයක් සිද්ධ වුණාද කියන සැකය සමාජය තුළ තියෙනවා. අපේ රටේ මිනිසුන් සිය ගණනක් ඝාතනය කරන්න පුළුවන්නම් දේශපාලන අරමුණක් වෙනුවෙන්, ඒක ඛේදවාචකයක්. ඒ නිසා පළමු කොටම අපේ රටේ දේශපාලනය එවැනි විනාශකාරී අන්තයක නම් තිබෙන්නේ ඒක සමාජයට හෙළිදරව් කළ යුතුව තිබෙනවා. දෙක තවත් සාකච්ඡාවක් තිබෙනවා සමාජයේ මේ පරීක්ෂණයන් ඒ කියන්නේ අපේ රටට යම් ප්‍රහාරයක් යම් කුමන්ත්‍රණයක් සිදුවෙනවා නම් එය වැළැක්වීම සඳහා තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය මේ ප්රහාරයන්ට සම්බන්ධ වී තිබෙනවාදැයි සැකයක් තිබෙනවා. රටකට යම් ප්‍රහාරයක් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තිබෙන යාන්ත්‍රණයේ ඒ ආරක්ෂාව බිඳවැට්ටීම සඳහා කටයුතු කරනවා නම්, අපේ රට හැම වෙලාවෙම අනාරක්ෂිතයි. දැනුත් අනාරක්ෂිතයි. වැළැක්වී සිටිය යුතු කණ්ඩායම් ප්‍රහාරයේ හවුල්කරුවන් වෙනවා නම් ඒක අතිශය භයානක තත්ත්වයක්. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවත් මේ පැත්තෙන් බැලුවත්. අනිවාර්යෙන්ම සිදුවුනේ කුමක්ද කියලා හෙළිදරව් කර ගත යුතු වනවා. තුන්වනුව ගත්තහම 274 කට ආසන්න පිරිසක් මියගියා තව විශාල පිරිසක් තුවාල ලැබුවා. ඒ වින්දිතයන්ට තමන්ගේ ඥාතීන් පිළිබඳව, තමන්ගේ දරුවන්, තමන්ගේ ස්වාමිවරුන් පිළිබඳව තමන් තුළ තිබෙන භක්තියට සාධාරණය ඉටුවිය යුතුව තිබෙනවා. ඒ පැත්තෙන් බැලුවත් මේ පරීක්ෂණය අපි සාධාරණව ඉටු කළ යුතු වෙනවා. අනිත් පැත්තෙන් මම හිතනවා පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් දෙපලු කළා. එකිනෙකා කෙරෙහි සැකෙන් අවිශ්වාසයෙන් අනෙකා කෙරෙහි වෛරයෙන් සහ ක්රෝධන් බලන සමාජයක් නිර්මාණය වුණා. ඒ පැත්තෙන් බැලුවත් මේකට සාධාරණය ඉටුවිය යුතුයි…මම ඔබට ඒක සහතිකයක් දෙනවා. ඔබගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක්. පළමුකොටම අපි පාලනයක් ගොඩනගලා තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගේ අරමුණත් මාගේ අරමුණත් එකක් වෙන්නට. ඒ නිසා ඔබ අපේක්ෂා කරන යුක්තිය පිළිබඳ ප්රශ්නය අනිවාර්යෙන්ම නිරාකරණය කරලා, සාධාරණය ඉටු කිරීම මාගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි .එය දැනටමත් අපි ආරම්භ කරලා තිබෙනවා ඉතා ඉක්මනින් එම පරීක්ෂණ දියත් කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය තිබ්බනම් ඔබට අපි මේ ප්‍රශ්නෙදි සාධාරණත්වය යුක්තිය තහවුරු කරනවා. නැවත මෙවැනි ඛේදවාචකයක් අපේ රට තුළ ඇති නොවීම සඳහා පරීක්ෂණයක් අත්දැකීමක් අපේ රට තුළ අවශ්‍යයි. එය මම ඔබට සහතික කරනවා ”
මෙහි දී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවැසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ද ඊට විසඳුමක් නොලැබුණු බවයි. විපතට පත් වූවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයයන් කටයුතු කළත් මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන ප්රශ්නය ජනතාව තුළ තිබෙන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙරට ජනතාව තුළ අනුර කුමාර දිසානයක මහතා කෙරෙහි විශ්වාසයක් තිබෙන බවත්, ජනාධිපතිවරයාගේ අවංකභාවය පිළිබඳ තමන් අගය කරන බවත් පැවැසූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම අවංකභාවය සහ ළෙන්ගතුකම ජනතාව හමුවේ ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් වැඩිදුරටත් පැවැසීය.
කටුවාපිටිය දේවස්ථාන භාර මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා ඇතුළු පාස්කු ප්‍රහාරෙය් වින්දිතයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

