මෙරට ඉතිහාසයේ පළමුවරට අධිකරණ නියෝගයෙන් ගොඩ එන නිධානය

මෙරට ඉතිහාසයේ පළමුවරට අධිකරණ නියෝගයෙන් ගොඩ එන නිධානය

වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ, ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා මේ වන විට කැණීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුවයි.

අදාළ කැණීම් කටයුතු ඊයේ උදෑසන ආරම්භ කළ ද පැවති වැසි තත්ත්වය හමුවේ එම කටයුතු අද දක්වා කල් තැබුණා.

මෙහි නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර මේ ආකාරයෙන් කැනීම් සිදුකළ චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන බවයි පොලිසිය සදහන් කළේ.

මීට පෙර ද අදාළ ස්ථානෙය් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට තොරතුරු හෙළිව තිබුණා.

කෙසේ වෙතත්, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.

ඒ අනුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන එක්ව මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇති බව සදහන්.

රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් මෙරටදී සිදු කරන පළමු නිධන් කැණීම් අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.

ඒ අනුව, මේ වන විට එහි අඩි 20 කට අධික ගැඹුරකට කැණීම් සිදුකර ඇති අතර, මේ වන විට විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව තිබෙනවා.

එය පුපුරුවා හැරීම සදහා දැනට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ