යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම එළැඹෙන 15 වැනිදායින් පසු

යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම එළැඹෙන 15 වැනිදායින් පසු

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරුණා.

ඒ එම කාරක සභාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී යල කන්නයේ වැඩි බිම් ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් මෙලෙස කුඹුරු සඳහා ජලය මාර්තු මස 15 වැනිදායින් පසුව නිකුත් කිරීමට සැළසුම් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවා.

එමෙන්ම ලබන අප්‍රේල් මස අවසාන වනවිට සියලුම කුඹුරු වගා කර අවසන් වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා.

තවද කුඹුරු ඉඩම් ගොඩකීරීම සම්බන්ධවද පවතින ගැටලු පිළිබඳවද මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානය යොමු කළා.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා “එක මිටට ගොවි බිමට” යන වැඩසටහන පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කළා.

ඒ අනුව “ එක මිටට ගොවි බිමට ” යනු පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහක් නොවන බවත් ඒ ඒ ප්‍රදේශයන් හි විද්‍යාත්මක පදනමකින් වගා කළහැකි බෝග හඳුනාගෙන අදාළ ප්‍රදේශයේ ගොවිජන කොමසාරිස්වරයාගේ
අනුමතිය සහිතව එම බෝග වර්ග වගා කල හැකි බව සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර මෙරටට අවශ්‍ය බඩ ඉරිඟු තොග සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කෙරුණා.

ඒ අනුව සත්ව අහාර සඳහා 2024 සිට 2025 ජනවාරි 31 වැනිදා දක්වා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 275,000 අසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූවා.

පසුගිය ජනවාරි 31න් පසු බඩ ඉරිඟු ආනයනය නතර කර ඇති බව ද පැවසුවා.

කෙස් වෙතත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක වාර්ෂික අවශ්‍යතාවය පවතින නමුත් මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය එම අවශ්‍යතාවය සපුරාගැනීමට ප්‍රමාණවත් නොවන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවා.

ඒ අනුව නතර කර ඇති බඩ ඉරිඟු ආනයනය නැවතවරක් ආරම්භ කිරීමට ඉදිරියේදී සිදුවනු ඇති බවද කාරක සභා සභාපතිවරයා මෙහිදි කියා සිටියා.

මෙහිදී බඩ ඉරිඟු ආනයනය කරන්නේනම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ටද අවස්ථාවක් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වුණා.

එමෙන්ම මේ වන විට මෙරට බඩ ඉරිඟු වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර විසිදහසක් දක්වා වැඩි කිරීමේ සැළසුමක්ද සකස් කර තිබෙන බවද කාරක සභාව සඳහන් කළා.

තවද මෙහිදී මෙරට වාරි පද්ධතිවල පවතින ගැටලු හා ඒවා නිරාකරණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වාරි ගැටලු සඳහා විශේෂ අවධානයක් යොමුකරමින් කටයුතු කරන බව පැවසුවා.

මෙම කාරක සභා රැස්වීම සඳහා අමාත්‍යවරුන් , කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ,ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) සුසිල් රණසිංහ, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

COMMENTS