අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක්ටම වෛද්‍ය පරීක්ෂණයක්

අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක්ටම වෛද්‍ය පරීක්ෂණයක්

ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කරනවා.

ඒ තුළින් හඳුනාගන්නා රෝග තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ලබා දීමත්, මීට ආදාළ දීර්ඝ කාලීන වැඩසටහනක් වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය තුළ ගැබ්ව ඇති අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එම දිගුකාලීන වැඩපිළිවෙළේ කෙටිකාලීන පියවරක් ලෙස “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන හඳුන්වා දිය හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ග්‍රාමීය ජනතාවට සුවසෙත සලසන “සුව උදාන” 05 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.

මෙම වසරේ පවත්වන 5 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන මෙය වූ අතර එය පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිළිමතලාව, රණවන පුරාණ විහාරස්ථානයේ දී දවස පුරා පැවැත්වුණා.