ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක ගැටුම අද

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ තීරණාත්මක තරඟයක් අද (23) රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතරයි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.
මෙම කණ්ඩායම් දෙකම සුපිරි 04 දෙනාගේ වටයේ තමන් සහභාගී වූ පළමු තරඟයෙන් පරාජයට පත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණේ කඩුලු 04කින්.
පකිස්ථානය ඉන්දීය කණ්ඩායම හමුවේ කඩුලු 06ක පරාජයක් අත්කර ගත්තා.
තරඟාවලිය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීම සඳහා අද (23) පැවැත්වෙන තරඟය දෙපිළටම එක ලෙස වැදගත් තරඟයක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව මෙම තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර අද (23) තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවිය හැකි බවයි නායක චරිත් අසලංක මාධ්‍ය හමුවේ කියා සිටියේ.
සුපිරි හතර දෙනාගේ වටේ පළමු තැන හිමිකර ගන්නට ඉන්දියාව සමත් වෙන්නේ ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගයම ඉතා හොඳින් ජයගත් නිසායි. ඉන්දියාවේ ශුද්ධ ලකුණු වේගය +0.689ක්.
ඉන්දියාව මීළඟට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග තරග කිරීමට නියමිතයි.
දෙවැනි තැන බංග්ලාදේශය පසුවන අතර ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය +0.121ක් ලෙස දැක්වෙනවා.
බංග්ලාදේශයට ඉන්දියාව සහ පකිස්තානය සමග තවත් තරග 2ක් ද ඉතිරිව තිබෙනවා.
ශ්‍රී ලංකාව ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය -0.121ක් ලෙස තබාගෙන තුන් වැනි තැන පසුවනවා.
ශ්‍රී ලංකාවට අද (23) පකිස්තාන තරගයත් සමග තවත් එක් තරගයක් ඉන්දියාව සමග ඉතිරිව තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ සිව් වැනි සහ අවසන් තැන හිමිවී තිබෙන්නේ පකිස්තානයටයි.
ඔවුන්ගේ ශුද්ධ දළ වේගය -0.689ක් ලෙස දැක්වෙන අතර පකිස්තානයට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග තවත් තරග 2ක් ඉතිරිව තිබෙනවා.

