බිඳ වැටුණු සන්නිවේදන ජාලා හෙට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.
ඒ අනුව, මේ සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නාය යෑම් සහ ජල ගැලීම් නිසා ස්ථාන 11 කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී තිබුණු බවද, ඉන් ස්ථාන 09 ක් පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළ පිළිසකර කිරීමට කටයුතු කළ බවද, මේ වන විට සියලු පළාත් සම්බන්ධ කරමින් විදුලි සංදේශ ක්‍රියාවලිය යාවත්කාලීන කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ජල ගැලීම් සහ නාය යෑම් නිසා සිදු වූ විදුලි බිඳවැටීම් හා ෆයිබර් සම්බන්ධතාව විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුලුණු 4000 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියා විරහිත වී තිබුණු බවත්, එයින් 2800 ක් වැනි ප්‍රමාණයක් නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කර තිබෙන බවත් සඳහන්.
ඉතිරි සම්ප්‍රේෂණ කුලුණු ප්‍රමාණයෙන් 949 ක් අක්‍රීය වී තිබෙන්නේ විදුලිය විසන්ධි වීම නිසා වන අතර, එම ස්ථාන සියල්ල නැවත සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට විදුලි සන්නිවේදන ආයතන ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ වන විට ගැටලු පවතින්නේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන ප්‍රදේශවල බවත්, හෙට දිනය වන විට එම ගැටලු 100% ක් දක්වා පිළිසකර කර ගැනීමට හැකි වනු ඇති බවයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

