පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය

පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත එළැඹෙන මාර්තු මස 15වනදා සිට සැප්තැම්බර් මස 14 වනදා දක්වා කාලය තුළ පෙට්‍රල් 92 , බැරල් 300,000 ± 5%ක් බැගින් වූ නැව් තොග 05ක් ප්‍රසම්පාදනය කිරීමට නියමිතය.
මෙම කොන්ත්‍රාත්තුව සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මීට පෙර ලංසු කැඳවා තිබුණි.
ඒ අනුව, ඒ සඳහා සැපයුම්කරුවන් 06 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබූ බව සඳහන් වේ.
එම ලංසු සම්බන්ධයෙන් සිදුකළ ඇගයීමකින් පසුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව, එම කොන්ත්‍රාත්තුව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත පිරිනැමීමට යෝජනා කර තිබේ.
ඒ අනවු, බලශක්ති අමාත්‍යවරයා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති අතර එයට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

