ජනපතිගේ ඉල්ලීමට පාකිස්තානය ලෝක කුසලාන තරඟ බිමට

පාකිස්තානය සහ ඉන්දියාව අතර 20/20 ක්‍රිකට් ලෝක කුසලානයට පෙබරවාරි 15 වැනිදා තරගවැදීමට එකඟ වී තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙහ්බාස් ශරීෆ් සමග පැවැත්වූ දුරකථන සංවාදයකදී කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්ය.
කලාපීය ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් තමන් මෙම තරගය සඳහා එක්වන බව පාකිස්තාන රජය නිකුත් කළ එක්ස් (X) පණිවිඩයක සඳහන් වේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මේ පිළිබඳව සිය ස්තූතිය පළ කරමින් එක්ස් පණිවිඩයක් නිකුත් කර තිබේ.
සියලු දෙනා ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යාම සහතික කිරීම සහ 20/20 ලෝක කුසලානයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීම පිළිබඳව තමා සතුටට පත්වන බව එම පණිවිඩයේ දැක්වේ.
එමෙන්ම තරගාවලියේ සම සත්කාරකත්වය දරන රට ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ සහය දැක්වූ සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා ස්තූතිය පළ කර ඇත.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ආරක්ෂක ගැටලු හේතුවෙන් අනෙක් කණ්ඩායම් මෙරටට පැමිණීමෙන් වැළකී සිටි අවස්ථාවේ, ඉන්දියාව සහ පාකිස්තානය කොළඹදී තරග ක්‍රීඩා කිරීමෙන් පෙන්වූ සහයෝගීතාව ශ්‍රී ලංකාව අමතක කර නැති බව ද ජනාධිපතිවරයා සිය එක්ස් පණිවිඩය මගින් සිහිපත් කර තිබේ.

