ආදරවන්තයින්ගේ දිනය අදයි

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරයි.
ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය ලෙස අපි නූතනනයේ සමරන්නේ වාණිජකරණයට ලක් වුණු උත්සවයක්.
එහෙත් වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමක් ලෙස හඳුන්වා දිය හැකියි.
ප්‍රසිද්ධ සාන්තුවරයෙකුගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.
මේ ජනප්රවාදගත කතාව දිව යන්නේ තුන්වැනි සියවසේ රෝම අධිරාජ්‍යය දක්වායි.
එකල රෝමය පාලනය කළ දෙවැනි ක්ලෝඩියස් අධිරාජ්‍යයා විශ්වාස කළේ විවාහක තරුණයන්ට වඩා තනිකඩ තරුණයන් යුද්ධයට දක්ෂ බවයි.
විවාහ වූ පසු තරුණයන් තම බිරිය සහ දරුවන් ගැන සිතා යුද්ධයට යෑමට පසුබට වන බව සිතූ අධිරාජ්‍යයා, රෝමය පුරා තරුණයන්ට විවාහ වීම තහනම් කරමින් දැඩි නීතියක් පනවා තිබෙනවා.
එහෙත් වැලන්ටයින් පූජකවරයා මේ අසාධාරණ නීතියට එකඟ වූයේ නැහැ.
ඔහු පෙම්වතුන් රහසින් මුණගස්වමින් ඔවුන්ගේ විවාහ උත්සව පවත්වා දීමටයි කටයුතු කළේ.
මේ පිළිබඳ අධිරාජ්‍යයාට සැලවීමත් සමඟ ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණා.
ඔහු සිරගතව සිටි කාලය තුළදී එහි මුරකරු වූ ජේලර්වරයාගේ දෑස් නොපෙනෙන දියණියට ඉගැන්වීම් කළා පමණක් නොව ඇය වෙනුවෙන් දැඩි ලෙස කැපවී කටයුතු කළා.
ඔහුගේ ඒ අපරිමිත කරුණාව සහ යාඥාව නිසා ඇයට ආශ්චර්යවත් ලෙස දෑස් පෙනීම ලැබුණු බවයි ජනප්රවාදයේ දැක්වෙන්නේ.
අවසානයේ අධිරාජ්‍යයා පූජකවරයාට මරණ දණ්ඩනය නියම කළ අතර, ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 වැනිදා ඔහුව මරා දැමුණා.
මරණයට පෙර ඔහු ඇයට ලියා තැබූ හසුනේ අවසානයේ සටහන් වූ ‘From your Valentine’ යන්න ප්‍රේමයේ නාමයෙන් ලියැවුණු අවසන් සෙනෙහසේ පණිවුඩය වුණා.

