ඉරානයේ පාලනය තාවකාලිකව ත්‍රිපුද්ගල මණ්ඩලයකට – මැදපෙරදිග අලුත්ම තත්ත්වය මෙන්න

ඉරානයේ පාලනය තාවකාලිකව ත්‍රිපුද්ගල මණ්ඩලයකට – මැදපෙරදිග අලුත්ම තත්ත්වය මෙන්න

UPDATE – 10. 23 අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීමට පළිගැනීමක් ලෙස හයවන ප්‍රහාර රැල්ල ක්‍රියාත්මක කරන බව ඉරාන විප්ලවවාදී බලකාය පවසයි.


UPDATE – 10. 09 ඉරානයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් අපේක්ෂා කරන බව ඊශ්‍රායලය මාධ්‍ය වාර්තා කර තිබේ.


UPDATE – 10. 05 කටාර් අගනුවරට ඉහළ අහසේ පිපිරීම් කිහිපයක් සිදුව ඇතැයි වාර්තාවේ.


UPDATE – 10. 00 ඩුබායි රාජ්‍යයයේ නව පිපිරීම් කිහිපයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


UPDATE – 09. 09 ඉරානයේ ජනාධිපතිවරයා, අධිකරණ ප්‍රධානියා සහ ගාඩියන් කවුන්සිලයේ නීතිවේදීන්ගෙන් එක් අයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල මණ්ඩලයක් රටේ සියලුම නායකත්ව රාජකාරි තාවකාලිකව භාර ගෙන ඇති බව ඉරාන නිල IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

UPDATE – 09. 00 ටෙහෙරානයට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ ඉහළම දේශපාලන උපදේශකයෙකු සහ ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වන අලි ෂම්කානි මිය ගොස් ඇති බව ඉරාන නිල IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

ඉරාන විප්ලවවාදී බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් ද මියගිය බව එහි සඳහන් වේ.


UPDATE – 08. 47 අමෙරිකා එක්සත් ජනපදය තුළ විරෝධතාකරුවන් කණ්ඩායම් රැසක් වීදි බැස ඉරාන ප්‍රහාරයට විරෝධතා දැක්වා ඇති බවත් ඇතැමුන් ප්‍රහාරය සහ ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනය සැමරූ බවත් අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.


UPDATE – 08. 42 ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඉදිරියේදී අමෙරිකානු කඳවුරු සහ ඊශ්‍රායලයේ ස්ථාන ඉලක්ක කරමින් මාරාන්තික ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බව වාර්තා කර තිබේ. ඒ අනුව ඉරාන ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම මෙය බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.


UPDATE – 08. 20 කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා තිබේ.


UPDATE – 07. 58 ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය කමේනිගේ අභාවයට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බව පවසා තිබේ. එමෙන්ම උත්තරීතර නායකයාගේ ඝාතනයට පළි ගැනීම් ආරම්භ කරන බවටද ඔවුන් දන්වා ඇතැයිද වාර්තා වේ.


UPDATE – 07. 10 අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.


UPDATE – 06. 40 ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පැවසුවේ ඉරානයේ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 133 දෙනෙකු මිය ගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.


UPDATE – 06. 21 ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුපුරා ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ සඳහන් කර තිබේ.

මෙය සිදුවන්නේ ට්‍රම්ප් සහ ඊශ්‍රායල නිලධාරීන් කමෙනි ඝාතනය කර ඇති බවට ප්‍රකාශ නිකුත් කිරීමෙන් අනතුරුවය‍.

කෙසේ නමුත් ඉරාන නිලධාරීන් මින් පෙර මෙම ප්‍රකාශ මනෝවිද්‍යාත්මක යුද්ධයක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීය.


UPDATE – 05. 56 ඉරාන බාලිකා පාසලට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 115ක් දක්වා ඉහළ ගොස් ඇත.


UPDATE – 05. 47 ඩුබායිහි ජෙබෙල් අලි වරායේ ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.


UPDATE – 05. 45 ඉරාකයේ බස්රාහි බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරට ඒකාබද්ධ මෙහෙයුම් විධානය පවසයි


UPDATE – 03. 20 අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු ජනාධිපති පවසයි.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසාගෙන් කෙනෙකු වූ කමෙයිනි ජීවිතක්ෂයට පත්වූ බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව මෙතෙක් ඉරාන මාධ්‍ය විසින් තහවුරු කර නොමැති අතර ඔවුන් පවසන්නේ ඔහු ජීවත්ව සිටින බවය.


UPDATE – 03. 10 ඊශ්‍රායලය දෙසට නව මිසයිල රැල්ලක් එල්ල වන බව ඊශ්‍රායල හමුදාව පවසයි.


UPDATE – 03. 05 එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ වන විට හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් අමතමින් සිටී. ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කර ඇති බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා තහවුරු කිරීමට තමාට හැකියාවක් නැති බව ඔහු එහිදී පැවසීය.


UPDATE – 03. 00 ඊශ්‍රායලයේ ටෙල්අවිව් ප්‍රදේශයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරයෙන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.


UPDATE – 02. 55 ඉරාන ප්‍රතිප්‍රහාර හමුවේ කටාර් රාජ්‍යයට මිසයිල ප්‍රහාර 66ක් එල්ල වී ඇති බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ. මිසයිල කැබලි වැටීමෙන් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් කළ ඔහු පැවසුවේ රට පුරා මිසයිල කැබලි 114ක් කඩා වැටී ඇති බවය.


UPDATE – 02. 52 මැදපෙරදිග මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හදිසි රැස්වීමක් කැඳවා ඇතැයිද එය මේ වන විට ආරම්භ වී ඇතැයිද වාර්තා වේ.


UPDATE – 02. 49 ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා ඒකකය පවසන්නේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ස්ථාන වෙත “පළිගැනීමේ” ප්‍රහාරවල තුන්වන සහ සිව්වන රැල්ල අඛණ්ඩව සිදුවන බවය. ඒ අනුව ඊශ්‍රායලයේ ඉලක්ක්ක රැසකට මෙම ප්‍රහාර එල්ලකරන බව ඉරානය පවසයි.


UPDATE – 02. 26 දෝහා, ඩුබායි සහ ටෙල් අවිව්හි පිපිරීම් සහ සයිරන් හඬ ඇසෙයි


UPDATE – 02. 24 ඉරානයේ ඉහළ පෙළේ නිලධාරීන් 7 දෙනෙකු ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි.

ඒ අනුව ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ලේකම් සහ උත්තරීතර නායක කමේනිගේ සමීප උපදේශක අලි ෂම්කානි, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියෙකු වූ මොහොමඩ් පක්පූර්, ඉරාන ආරක්ෂක අමාත්‍ය අමීර් නසිර්සාදේ ඇතුළු ඉහළ පෙළ් හමුදා නිලධාරීන් 7 දෙනෙකු ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි.


UPDATE – 02. 20 දෝහා නගරය පුරා පිපිරීම් රැසක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නගරයේ පිපිරීම් 15-20ත් අතර ප්‍රමාණයක් සිදුව ඇතැයිද සඳහන්වේ.


UPDATE – 01. 50 “සතුරා මානසික යුද්ධයකට යොමු වෙමින් සිටී, සියලු දෙනා දැනුවත් විය යුතුය” යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය උත්තරීතර නායකයාගේ කාර්යාලයේ මහජන සම්බන්ධතා ප්‍රධානියා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනය ගැන පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළකර තිබේ.


UPDATE – 01. 46 ආරක්ෂක පියවරක් ලෙස ජෙරුසලමේ ශුද්ධ ස්ථාන වන්දනාකරුවන්ට වසා දමා ඇති බව ඊශ්‍රායල පොලිසිය පවසයි.


UPDATE – 01. 43 ඉරානයේ උත්තරීතර නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට පෙනෙන්නට තිබෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීමෙන් පසු, ඔහු අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවට තහවුරු නොකළ වාර්තා කිහිපයක් පළව තිබේ.

ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ අයතුල්ලා අලි කමේනිගේ සිරුර සොයාගෙන ඇති බවය.

මූලාශ්‍රයක් උපුටා දක්වමින් වාර්තාවක සඳහන් වනුයේ, ටෙහෙරානයේ ඔහුගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් කමේනි මිය ගිය බව එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් අමෙරිකානු නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි.


UPDATE – 01. 36 ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය රට පුරා ඉලක්ක වෙත එල්ල කරමින් දිගටම ප්‍රහාර සිදුකරන බැවින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


UPDATE – 01. 33 මැදපෙරදිග පවතින යුද ගැටුම් සමනය කිරීම සඳහා සටන් විරාමයකට මැදිහත් වීමට තමන් සූදානම් බව තුර්කිය පවසයි.

පසුගිය වසරේ මෙන්ම එක්සත් ජනපද – ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවල නවතම වටය සාකච්ඡා කිරීමට සම්බන්ධ වූ බව සඳහන් කරමින් කලාපයේ සටන් විරාමයකට මැදිහත් වීමට සූදානම් බව තුර්කිය පවසා තිබේ.


UPDATE – 01. 31 ඉරාන ජනාධිපතිවරයා සහ උත්තරීතර නායකයා ආරක්ෂිතව හා යහපත්ව සිටින බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


UPDATE – 01. 29 ඉරාන මෙහෙයුම දිගු කාලයක් පැවතිය හැකි බවත් නැතහොත් එය දින දෙක තුනකින් අවසන් විය හැකි බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


“මට ගොඩක් දුර ගිහින් මුළු දේම භාරගන්න පුළුවන්, නැත්නම් දවස් දෙක තුනකින් ඒක ඉවර කරලා ඉරාන වැසියන්ට කියන්න පුළුවන්: ‘ඔබ ඔබේ න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැගීම ආරම්භ කළහොත් වසර කිහිපයකින් නැවත හමුවෙමු’ කියලා,” යැයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.


UPDATE – 01. 10 ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනි තවදුරටත් නොමැති බවය.

ප්‍රහාර හමුවේ කමේනි මිය යන්නට ඇති බවට බොහෝ සලකුනු ඇති බව ඔහු සිය කෙටි දේශනය අතරතුර පැවසීය.

“මේ කෘෘර පාලකයා තවදුරටත් නොමැති බවට බොහෝ සලකුණු තිබෙනවා. අද උදෑසන අපි අයතුල්ලාගේ පාලනයේ ජ්‍යෙෂ්ට නිලධාරීන්. විප්ලවවාදී ආරක්ෂක අණ දෙන නිලධාරීන්, න්‍යෂ්ටික වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් විනාශ කළා. අපි ඉදිරියටත් ක්‍රියා කරනවා. අපි ඉදිරියටත් ත්‍රස්තවාදී පාලනයේ තවත් ඉලක්ක දහස් ගණනකට ප්‍රහාර දෙනවා” යැයි ඊශ්‍රායල අගමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ඉරානය මෙතෙක් තහවුරු කර නොමැත.


UPDATE – 01. 02 එක්සත් ජනපදයට අවශ්‍ය නම් යුද්ධයකට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබේ.

අල් ජසීරා සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ පවතින නොසන්සුන්තා මධ්‍යයේ එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීමට සූදානම් නමුත් තම රට සියලු විකල්ප සඳහා සූදානම් බවය.

එමෙන්ම පසුගිය වසරේ දින 12ක යුද්ධයකට සාපේක්ෂව ඉරානය දැන් විශාල හා පුළුල් මිලිටරි සූදානම් සහිත රටක් බවද ඔහු එහිදී පවසා තිබේ.


UPDATE – 12. 40 බෙන්ජමින් නෙතන්යාහු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ පරිශ්‍රය විනාශ වී ඇති බවත් විප්ලවවාදි ආරක්ෂක අණඛ දෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික නිලධාරීන් මියගොස් ඇති බවය.


UPDATE – 12. 30 රෆා ඇතුළු ගාසා තීරයට ඇතුළුවන මාර්ග වසා දැමීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

පලස්තීන ප්‍රදේශවල රජයේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඇති ඊශ්‍රායලය පවසන්නේ ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුව ගනු ලැබූ පියවරයන් මගින් නැවත දැනුම්දෙන තුරු ගාසා තීරයට ඇතුළු වන හරස් මාර්ග සහ රෆා මාර්ගය වසා දැමීමට පියවර ගන්නා බවය.


UPDATE – 12. 25 එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදිංචිකරුවන්ට සහ පුරවැසියන්ට ගෘහස්තව රැඳී සිටින ලෙස ඉල්ලා තිබේ.


UPDATE – 12. 20 ඉරාන ප්‍රහාරවලින් අවම හානියක් සිදුවූ නමුත් ජීවිත හානි සිදු නොවූ බව අමෙරිකානු හමුදාව පවසයි.


UPDATE – 12. 15 ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර චිලී රාජ්‍යය හෙළා දකියි.


UPDATE – 12. 04 යෙමන කැරලිකාර කණ්ඩායමේ නායක අබ්දුල් මලික් අල් හවුති ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර කුරුරු, හෙළා දැක තිබේ. එමෙන්ම අමෙරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරානයට අයිතියක් ඇති බවටද ඔවුන් පවසයි.

COMMENTS