අරුන්දික අමාත්‍ය ධූරය අත හරීද ?

අරුන්දික අමාත්‍ය ධූරය  අත හරීද ?

රාගම වෛද්‍ය පිඨයේ සිසුන්ට පහරදීමේ සිද්දියට මා සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඇමතිධූරය අත් හරිනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

එම සිද්දියෙන් තුවාල ලබා දැන මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන රාගම වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවකු වන ලොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතානගේ සුවදුක් විමසීම සදහා රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

මෙම සිද්ධිය ගැන දැනගත්තේ අද උදෑසන. මේ සදහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් ඊට යොදාගෙන ඇති බව දැන ගත්තා. ඒ අයට එරෙහිව විධිමත් පරික්ෂයකින් පසු විනය පියවර ගැනීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම සිද්ධියෙන් තුවා ලැබූ ලොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතාන සිසුවාගේ මව වන විශේසඥ වෛද්‍ය කේ ඩි සි පරණවිතාන මහත්මිය අදහස් දක්වමින් ශිෂ්‍ය සමිති අතර ගැටුමක් නිසා මෙම පහරදීමට සිදුව ඇති බව දැන ගන්න ලැබුණා.

පළමු වසරේ දීත් මගේ පුතාට පහරදීමක් කළ බව ඇය වැඩිදුරටත් කීවාය.මෙම ගැටුම්වලට නවවදය බවත් විශ්ව විද්‍යාල තුළින් නවක වදය අවසන් කිරීම සදහා කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීමක් බව ද ඇය කීවාය.

අද අලුයම 3.00ට පමණ මෝටර් රථ දෙකකින් නේවාසිකාගාර පරිශ්‍රයට පැමිණි මැර පිරිසක් එම පහරදීම සිදුකර තිබුණි.

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

පහරදීමෙන් අනතුරුව පිරිස එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පහරදීම සඳහා පැමිණි එක් පුද්ගලයෙක් සහ මෝටර් රථයක් එහිදී සිසුන් ග්‍රහණයට ගෙන තිබුණි.

අදාළ මෝටර් රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් වන අතර එහි තිබී රාජකාරි හැඳුනුම්පතක් සොයාගැණුනි.

2018 වසරේ නිකුත් කළ එකක් වන එම හැඳුනුම්පත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකුට අයත් බව එහි දැක්වේ.

සිසුන් අල්ලා ගත් එම පුද්ගලයා පසුව රාගම පොලිසිය වෙත භාරදී තිබුණි.

සිසුන් දෙපිරිසක් අතර පසුගිය දිනෙක හටගත් ආරවුලකට බාහිර පාර්ශ්වයක් මැදිහත් වීම ගැටුමට හේතුවන්නට ඇතැයි සැක පළ කරයි.

එමෙන්ම රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනාගෙන් 5 දෙනෙකු එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ සැකකාර සිසුවෙක් මීගමුව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.