කලාකීර් ති අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි

කලාකීර් ති අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි

ලාංකීය කලා ක්ෂේත්‍රයේ, ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගවේදිනී, ජ්‍යෙෂ්ඨ කලාකාරිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය අද (09) සිය ජීවන ගමනේ 99 වැනි වියට පා තබයි. සියවසකට ආසන්න කාලයක් පුරා ඇය මෙරට සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයට ඉටුකළ මෙහෙය අතිමහත්ය.

1927 ජුනි මස 9 වැනිදා රුවන්වැල්ලේදී “අයිරාංගනී රොක්සානා මීදෙණිය” ලෙස උපත ලැබූ ඇය, විවාහයෙන් පසුව අයිරාංගනී සේරසිංහ නමින් රටම හඳුනන චරිතයක් බවට පත් විය. කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය, පසුව ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. (B.A.) උපාධිය ද හිමිකර ගත්තාය.

බොහෝ දෙනෙක් ඇයව රංගන ශිල්පිනියක ලෙස පමණක් හැඳින්වුවද, ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙසිනි. ඉන් නොනැවතී, ඇය ‘ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද මාධ්‍යවේදිනියක ලෙස සේවය කරමින් සිය සන්නිවේදන හැකියාවන් ප්‍රකට කළාය.

1950 දශකයේදී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ඉංග්‍රීසි නාට්‍ය හරහා වේදිකාවට පිවිසි ඇය, සිනමාවට එක්වන්නේ 1955 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකිනි. ඉන්පසු ලෙස්ටර්ගේම සුවිශේෂී සිනමා කෘතියක් වූ “රේඛාව” චිත්‍රපටයේ ‘කතිරිනා හාමි’ ලෙස කළ අතිවිශිෂ්ට රංගනය ඇයව සිනමා ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන සලකුණක් බවට පත් කළේය.

මෙරට සිනමාවේ නොමැකෙන සේවයකට හිමිවන “කලාකීර්ති” ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය, ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂිකා දීපා මේතාගේ “වෝටර්” (Water) චිත්‍රපටය ඇතුළු ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකට ද තම රංගන දායකත්වය සපයමින් ලාංකීය නාමය ලෝකය හමුවට රැගෙන ගියාය.

කලා ලොව බැබළවූ, පරිසරයට පණ මෙන් ආදරය කළ මේ අද්විතීය කලාකාරිණියට My newslanka මාධ්‍ය ජාලයේ අපගෙන් සුබ පැතුම්.

COMMENTS