කොවිඩ් නව රැල්ලක්ද ? මෙරට ළමුන් අතර කොවිඩ් රෝග ව්‍යාප්තිය ඉහළට

කොවිඩ් නව රැල්ලක්ද ? මෙරට ළමුන් අතර කොවිඩ් රෝග ව්‍යාප්තිය ඉහළට

වයස අවුරුදු 11ක පාසල් දැරියක් කොවිඩ් ආසාදිතව, කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේය.

ඔහු තවදුරත් පැවසුවේ මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව කොවිඩ් රෝගය වැලඳුණු දරුවන් 25 දෙනෙකු පමණ ඇතුළත් වන බව යි.

“අපිට ඊයේ දිනයේ දී වාර්තා වුණා, මාරවිල ප්‍රදේශයෙන් අවුරුදු 11ක පමණ ගැහැණු දරුවෙක් කොවිඩ් ආසාදිතව මියගිය බවට. සම්පූර්ණ තොරතුරු අපිට තාම ලැබුණේ නෑ. යම්කිසි ප්‍රමාණයකට තරබාරු දරුවෙක් බවට තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් අපි කරුණු සොයාගෙන යනවා,” යනුවෙන් වෛද්‍ය ජී.විජේසූරිය ජනවාරි 31 වනදා මාධ්‍ය වෙත පැවසිය.

“ඊයේ දිනයේ දී තමා මේ දරුවා මියගියේ. ඒ නිවෙස්වලට ගිහින් පරණ ප්‍රතිකාර සටහන් සියල්ලම පරීක්ෂා කරන්න ඕනේ. අද දිනයේ දී ඒ පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ හැකියාව ලැබේවි. කෙසේවෙතත් මරණ පරීක්ෂණයේ දී අනුව දරුවා කොවිඩ් නියුමෝනියා තත්ත්වය තිබු බවට වාර්තා වෙනවා. එක දවසක් තුළ එතරම් ප්‍රමාණයක් නියුමෝනියාව වර්ධනය වීමට හැකියාවක් නෑ. අපිට ලැබුණ තොරතුරු අනුව මීට පෙර දරුවාගේ දෙමාපියන්ටත් මේ රෝගය වැලඳී තිබෙනවා.”

ඔහු තවදුරටත් පැවසුවේ තවමත් අවුරුදු 12ට අඩු පිරිසට කොරෝනා වෛරසයට එරෙහිව එන්නත ලබානොදෙන නමුත් එම දරුවන් මේ වනවිට පාසල් යන බැවින් දරුවන්ගේ යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ පෙන්නුම්කරන්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවට රැගෙන ගොස් අවශ්‍ය වෛද්‍ය උපදෙස් මත පමණක් නිවෙස්ගත ප්‍රතිකාර කරන ලෙසයි.

“මාරවිල, රෝහලට ඇතුළත් කර එක දිනක් ඇතුළත (මේ ළමයා) මියගොස් තිබෙනවා. පුළුවන් තරම් ඉක්මනින් රෝහල්ගත වෙන්න පුළුවන් නම්, ඒ වෛද්‍යවරු පරීක්ෂා කර බලලා තීරණය කරයි නිවෙස්ගත ප්‍රතිකාර ද නැතිනම් සංකූලතා තියෙනවා නම් යම් ප්‍රතිකාර ලබාදීම සඳහා. කිසිම කෙනෙක් රෝහලට යන්න බයවෙන්න එපා. රෝහල් පරිසරය ඉතාම සුරක්ෂිතව සුදානම් කරලා තියෙනවා.”

මේ වන විට රටේ නැවතත් කොරෝනා රැල්ලක් හිස ඔසවා ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් පවසන අතර අතර ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ මේ වන විට ඉතා සීග්‍රයෙන් පැතිරුණත් මරණ අනුපාතය ඉතා අඩුයැ යි රජරට විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි පවසයි.

“මේ ලෙඩ්ඩු 1,000ක් (වාර්තා වෙනවා) කියනකොට සමාජයේ 5,000ක් 6,000ක් විතර ඉන්නවා. පරීක්ෂණ කරන්නෙත් නැහැ. රිපෝට් කරන්නෙත් නැහැ. එහෙම බැලුවහම අපේ මරණ අනුපාතය ඉතා අඩු යි. එන්නත්වල ලොකු බලපෑමක් තියෙනවා මේකට… මේ වෙනකොට එන්නත්කරණය ඉතා සාර්ථක යි ලංකාවේ. ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔමික්‍රෝන් පැතිරුණත් මරණ අනුපාතය ඉතා අඩු යි, මහාචාර්යවරයා පැවසුවේ ය.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වසංගතය ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් අවසන් වීමේ ඉඩක් ඇතිබව යි.

“ඇත්ත කථාව නම් ලෝකේ විශේෂඥයෝ ගොඩක් බලාපොරොත්තුව තියෙනවා ඔමික්‍රෝන්වලින් මේක නවතියි කියලා. හැබැයි අඩුම තරමේ වසරක්වත් යනකන් කියන්න බැහැ අපිට මේක මොන පැත්තට හැරෙයි ද කියලා,” ඔහු ප්‍රකාශ කළේ ය.

නව කොවිඩ් රැල්ලක් ද? ළමුන් අතර රෝග ව්‍යාප්තියත් ඉහළට
කොවිඩ්-19: බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද?

මේ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් චෝදනා කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවිධිමත් දත්තවලින් වසංගතය ගැන වැරදි මතයක් ජනගත කෙරෙන බව යි.

කොවිඩ් ආසාධිතයන් 40,000කට අධික ප්‍රමාණයක් සමාජයේ වෙසෙන බව ඔහු අනුමාන කළේ ය.

“සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් පරීක්ෂණ සඳහා ලබාදෙන අඩු සැලකිල්ල සහ විද්‍යාත්මක පුරෝකථනයන් කරන්න දක්වන අකමැත්ත නිසා රට තුළ කෝවිඩ් වසංගතය පිළිබඳව වැරදි මතයක් සහ තක්සේරුවක් සමාජගත වෙනවා.”

“රටේ පවතින පරීක්ෂණ කිරීමේ දුෂ්කරතාවය නිසා තමන්ට කෝවිඩ් ආසාදනයක් තිබෙන බව හොඳින්ම දන්නා ආසාදිතයන්ගෙන් භාගයකටත් වැඩි ප්‍රමාණයකට පරීක්ෂණයක් කරගන්න ලැබෙන්නේ නෑ. ඒ විදිහට කෝවිඩ් පරීක්ෂණයක් කරගන්න හිතෙන තරමට රෝග ලක්ෂණ හෝ සංකූලතා මතුවෙන්නේ ආසාදිතයන්ගෙන් 80%කටත් වඩා අඩු ප්‍රමාණයකට,” රවී කුමුදේශ් පැවසුවේ ය.

ඔහු පවසා සිටින්නේ, රටේ තත්ත්වයට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙන් විසිගුණයකටත් වැඩි ආසාදිතයන් පිරිසක් රට තුළ සිටින බව උපකල්පනය කළ හැකි බව යි.

“…උදාහරණයකට පසුගිය 29 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින වාර්තාවල සඳහන් වන ආසාදිතයන් සංඛ්‍යාව 1993ක්. නමුත් මාධ්‍යයට නිකුත් කරපු වාර්තා අනුව මාධ්‍ය වාර්තා කරන්නේ ආසාදිතයින් සංඛ්‍යාව 1045ක් කියලා. එතනම දෙගුණයකට ආසන්න අඩුවීමක් තියෙනවා. පරීක්ෂණ කරන්න බැරුව හැරිල ගිය හෝ පරීක්ෂණ නොකරපු අය මේ ගොඩට එකතු කළොත් එම සංඛ්‍යාව තවත් දෙගුණයකින් විතර වැඩි වෙනවා,” ඔහු සඳහන් කළේ ය.

උපුටා ගැනීම :- බීබීසී සිංහල පුවත් සේවයෙන් https://bbc.in/3oh1ZBS