දින දෙකකදී ඉනිම් 3ක් නිමයි – ශ්‍රී ලංකාවට 447ක ඉලක්කයක්

දින දෙකකදී ඉනිම් 3ක් නිමයි – ශ්‍රී ලංකාවට 447ක ඉලක්කයක්

දෙවැනි තරගයේ දෙවැනි දිනය සඳහා ඊයේ (13 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 447ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්‌ කරගෙන සිටියේය.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 10ක් සහ ලකුණු 16ක් ලබා සිටී.

ලකුණු 143ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ඇරැඹූ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 42කට සීමා කරන්නට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. ඒ අනුව සිය පළමු ඉනිම් 25 අවසානයේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වන්නට ඊයේ (13 වැනිදා) ඇඹුල්දෙණිය සමත් විය. මීට ඉහතදී මෙම වාර්තාව ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් සතුව පැවැති අතර ඒ කඩුලු 67ක් ලබා ගනිමිනි.

ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 4ම ලකුණු 139කදී බිඳ වැටුණු අතර නායක රෝහිත් ෂර්මා ලකුණු 46කට දවා ගන්නට ධනංජය ද සිල්වා සමත් විය. ප්‍රථම ඉනිමේ සේම නැවතත් අසාර්ථක වූ විරාට් කෝලි ලකුණු 13කට ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. කෝලි ඉනිම් දෙකෙහිදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම විශේෂත්වයකි. ඉන්දියාව වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ රිෂාබ් පාන්ට් පන්දු 31කදී ලකුණු 50ක් ලබා ගත් අතර එය ටෙස්ට් ඉනිමක ඉන්දීය ක්‍රීඩකයෙකු ලැබූ වේගවත්ම අර්ධ ශතකය(පන්දු 28) ලෙසින් ඉතිහාසයට එක්විණි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රෙයාස් අයියර් ලකුණු 67ක් ලබා ගත්තේය. කඩුලු 9ක් දැවී ලකුණු 303ක් ලබා සිටියදී සිය ඉනිම අත් හිටවූ ඉන්දියාව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 446ක ඉලක්කයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 78කට කඩුලු 4ක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 87කට කඩුලු 3ක් බිඳ හෙළීය.

ලකුණු 86කට කඩුලු 6ක් දැවී සිටියදී දිනය ඇරැඹූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 109කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4ම ලකුණු 14කදී දැවී ගියේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43ක් ලබා ගත්තේය. මැතිව්ස් හැරෙන්නට ශ්‍රී ලංකාවේ කිසිදු පිතිකරුවකුට ලකුණු 25 සීමාව හෝ ඉක්මවීමට නොහැකි වූ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 21ක් ලබා ගත්තේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 24කට කඩුලු 5ක් ලබා ගත්තේය.