පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවට ගත් අරගලකරුවන් සියලු දෙනාට ඇප

අද උදෑසන පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ශ්රී ලංකා දණ්ඩනීති සංග්රහයේ 119 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාකරුවන් 13 දෙනාටම ඇප නියම කිරීමට මහේස්ත්රාත්වරයා මීට ටික වේලාවකට පෙර නියෝග කළා.
අත්අඩංගුවට ගත් පිරිස මහරගම පොලිසියේ රඳවා තබා කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් සම්බන්ධ පැමිණිලිල්ල විභාගයට ගැණුනේ මහේස්ත්රාත්වරයාගේ නිල කාමරයේදීයි.
මෙහිදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම සඳහා නීතිඥයින් අති විශාල පිරිසක් කඩුවෙල අධිකරණ පරිශ්රයට පැමිණ සිටි අතර මහේස්ත්රාත්වරියගේ නිල කාමරයේ ඉඩකඩ සීමාවීම හේතුවෙන් ඔවුන් අධිකරණ භූමිය පුරා විසිර සිටින අයුරු දක්නට ලැබුණා.
මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් ජයමාන්න මහේස්ත්රාත් නිල මැදිරියේදී කියාසිටියේ විශ්වාසභංගය ගැන කතානායකවරයාට ලිපියක් භාරදීමට ගිය පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවයි.




